Pages

Monday, 2 March 2015

චීන බෞද්ධ සත්‍ය කතා

භයානක උපන්දින සාදය
කිසි ප්‍රාණඝාතයක් නොකරන බවට දිවුරුම් දෙන ලද රාජ්‍ය නිලධාරියෙක් සිටියේය. නමුත් ඔහුගේ බිරිය කෲර චේතනා සහ කෑදර මුඛයක් සහිත ඇත්තියක් වූවාය. ඇය සෑම දිනයකම තමාට රස බොජුනක් පිළියෙල කර ගැනීම සඳහා පණ ඇති සතකුගේ දිවි නසා දැම්මාය. එහෙත් ඇයගේ ස්වාමි පුරුෂයා කිසි දිනක එසේ ඝාතනය කරන ලද කිසිම සතකුගේ මසක් ආහාර පිණිස නොගත්තේය.

එක් වර්ෂයක ඇයගේ උපන් දිනය මහ ඉහළින් පැවැත්වීමට කටයුතු සකස් කළාය. ඒ සඳහා වන සාදයට ඌරන් , එළුවන්, කුකුලන් හා තාරාවුන් වැනි ප්‍රාණීන් විශාල සංඛ්‍යාවක් එක්තැන් කොට මරණය සඳහා සූදානම් කොට තිබුණි.

ඇගේ ස්වාමිපුරුෂයා වන නිලධාරියා මෙම මරණයට කැප වී සිටින සතුන් දැක මහත් සේ කනගාටුවට හා නොසතුටට පත්ව බිරිඳ අමතා මෙසේ කීවේය.” ඔබ ඔබගේ උපන් දිනය සමරා සතුටුවෙන්නෙ මේ අහිංසක සතුන්ට මරණ වේදනාව දීලයි, මරණයට කැපවෙලා ඉන්න මේ සතුන්ට ඔබ අනුකම්පා කළ යුතුයි. ඒ අසරණයින් වෙනුවෙන් යම් ශුභවාදි දෙයක් කරන්න බලන්න”

මේ ප්‍රකාශය නිසා බිරිඳ කුපිත වූවා සේම මෙසේ විරෝධය පළ කළාය. “ ඔබ කියන්නේ අප හැමෝම බෞද්ධයින්ම විය යුතුය. හැමෝම සතුන් නොමරණ බවට දිවුරුම්දී පොරොන්දු විය යුතුය කියල ද හැමෝම එහෙම කරන්න ගියොත් මේ මුළු පළාතම අවුරුදු කීපයකදී සතුන්ගෙන් ම පිරේවි. මම ඒක බාරගන්නේ නෑ “

පසුව දා ඇය තමා සැලසුම් කළ මහා උපන්දින සාදය පැවැත්වීමේ පී‍්‍රතියෙන් ප්‍රමුදිත වූවාය . සත්ව වධකාගාරයේ අමිහිරි හඩින් අවට පරිසරය ඇළලී ගියේය. පළමුවැනි සූකරයා ඝාතනය පිණිස කුදලා ඇදගෙන යන විට උගේ ආත්මය නිලධාරි බිරිඳගේ කයට ආරූඪ විය. තියුණූ උල්පිහි තුඩ ඇගේ හදවත දෙපළු කරගෙන යන දැඩි වේදනාවෙන් ඇය පෙළුනාය. එය කෙසේවත් ඉවසිය නොහැකි මාරාන්තික පීඩාවක් බව අයට දැනෙන්ට විය. ඊළඟට පැමිණියේ එළුවකුගේ මරහඬ නගන වේදනාවය. ගෝ ඝාතකයාගේ බිහිසුණු තියුණු ආයුධ තමාගේ කය මස්වැදලි පසා කරගෙන කිඳා බසින සෙයක් ඇයට දැනුණි. එයින් අනතුරුව ආයේ කුකුලකු ගේ ගෙළ සිඳින අවස්ථාවය. ඉතා තියුණු මාරක ආයුධයේ මුවහත තමාගේ ගෙළ කසෙන් වෙන් කරන සෙයක් ඇයට දැනෙන්ට විය. ඇය මෙයට පෙර කිසි අවස්ථාවක එබඳු පීඩාකාරි වේදනාවක් විඳ දරා නැත. වේදනාවක මාරාන්තික පීඩාවක අත්දැකීම් ලබා නැත. ක්‍රමයෙන් මරණයේ වේදනාව ගැන හැඟීම් පහළ වන්ට විය. තමා අතින් බරපතල වරදක් සිදු වී ඇතැයි යන හැගීම ඇය තුළ හොල්මන් කෙළේය.

“ සත්ව ඝාතන වහාම නවත්වනු “ සූපවේදීන්ට හා ගෝ ඝාතකයින්ට ඇය අණ දුන්නාය. මෙතෙක් මරණ භයින් තැතිගෙන සිටි සියලුම සතුන් බැමි ලිහා මුදා හරින ලෙස නියම කළාය.

එදායින් පසුව කිසිම සතකු ආහාර පිණිස ඇය ඝාතනය නොකළාය. කිසිම සත්ව මංශයක් ආහාර පිණිස නොගත්තාය. සතකු ඝාතනය කිරීමේදී ඒ සතාට ඇතිවන වේදනාව කෙබඳුද යන්න සියලු දෙනාටම අවබෝධ කරදීමට ඇය උනන්දු වූවාය. සත්ව ඝාතනයේ ඇති අමානුෂික පාපකාරී ස්වභාවය ගැන සමාජය දැනුවත් කිරීමේ කාර්යය වෙනුවෙන් ඇය ඇප කැප වූවාය. මේ හේතුව නිසා ඇය දීර්ඝ කාලයක් සැපසේ ජීවත් වූවාය.

No comments: