Sunday, 22 February 2015
මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ කිරි ගවයින් 40,000ක් මස් කඩේට
ජාතික වනෝද්‍යානයක් තුළට නිසි අවසරයක් සහිතව ඇතුළුවන ඕනෑම කෙනකුගේ මූලික අභිලාෂය වන්නේ එහි නිදහසේ සැරිසරන වන සතුන්ගේ අසිරිමත් හැසිරීම් රටා දැක බලා ගැනීමය. නෙක විසිතුරු ස්‌වාභාවික පරිසර පද්ධතියක නිහඬ නිස්‌කාංසුව මදකට හෝ අත්විඳීමය. එය පරිසර හිතකාමී බොහෝ දෙනෙක් තුළ පහළ වන පොදු හැඟීමක් බඳුය.
පසුගිය දින මාධ්‍ය මගින් වාර්තා වූ පුවතකින් කියවී තිබුණේ ජාතික වනෝද්‍යානයක් සම්බන්ධව වෙනස්‌ම ආකාරයේ තොරතුරක්a ය. එහි සඳහන්ව තිබූ පුවතට අනුව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිටි කිරිගවයන්ගේ හිමිකරුවන්a නීතිය හමුවට පැමිණවීමත් ගව පට්‌ටි වනෝද්‍යානය තුළින් පිට කිරීමත් හේතුවෙන් කිරි ගවයන් පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් මස්‌කඩ වෙත අලෙවි කරමින් පවතින බවය. එතැනදී "මස්" බවට පත්වන කිරි ගවයන්ගේ දිවි ගමන ඉන්a නිමාවට පත්වීමේ අවදානමක් පවතින බවත් ය.
එය බොහෝ දෙදෙනකුගේ හද කම්පා කරවනසුලු පුවතක් විය. ඒත් සමඟම ඒ සම්බන්ධව බොහෝ දෙනෙක් තුළ පැනයක් ද මතු විය. එය නම් මාදුරුඔය ජාතික වනෝද්‍යානය යනු සතා සීපාවුන් සඳහා වෙන්වූ අභයභූමියක් ද නැතහොත් ගෘහාශ්‍රිතව ජීවත් වන කිරි ගව පාලනය සඳහා වෙන් කරන ලද වෙනස්‌ම ආකාරයේ "උද්‍යානයක්" පමණක් ද යන්නය.
මාධ්‍ය මගින් වාර්තා කර තිබූ ආකාරයට වනජීවී දෙපාර්තමේන්තුව විසින් මාදුරුඔය ජාතික වනෝද්‍යාන භූමිය තුළට අනවසරයෙන් ඇතුල්කොට කිරි ගවයන් ඉන් පිට කිරීමේ මෙහෙයුම් මේ වන විට ද සිදු කරන අතර ගව හිමියන් අධිකරණය වෙත ඉදිරිපත් කොට ඊට දඬුවම් පවා ලබා දෙමින් ඇත. වනජීවී දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් හෙළිවන්නේ අභයභූමිය තුළට අනවසරයෙන් ඇතුල්කොට ඇති ගවයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් පනස්‌දහසත් හැත්තෑ දහසත් අතර අගයක් ගන්නා බවත් ය.
දිගු කලක් මුළුල්ලේ කිරි ගවයන් වනජීවී කලාප තුළට නීතිවිරෝධී අයුරින් ඇතුල් කිරීමත්, එසේ කරන ලද ගවයන් ඉන් පිටකර හැරීමත් සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ගන්නා ලද උත්සාහයන්, ඒවා අසාර්ථක වීමට මෙතෙක් බලපෑ හේතූන්, ඒ හරහා මෙතෙක් හෙළිදරව් නොවූ රහස්, මාදුරුඔය සිදුවීමත් සමඟ කරළියට පැමිණෙමින් තිබෙන අතර එය මුල, මැද, අග, හැකිතාක් දුරට නිවැරැදිව ගලපමින් කළ යුතුව ඇති හෙළිදරව්වක් බඳුය.
කොතෙක් නීති අණපනත්a පැවතියද අප ජීවත් වෙමින් සිටින්නේ ඇතමුන් විසින් "අවනීතිය ද"නීතියක් බවට පත් කර ගෙන ඇති රටකය. මෙතෙක් මාදුරුඔය වනෝද්‍යානයේ අඳුරු අහුමුළු තුළ පමණක් නොව එළිපිටම දොaංකාර දී ඇත්තේ ඉහත සඳහන් කළ අවනීතියේ ඉහිළුම් නොදෙන සුළු හඬය. ලැඡ්ජාවට කාරණයවී ඇත්තේ එය දේශපාලන කටහඬකින් නිකුත් වී තිබීමය. එය ද ගහකොළ සතා සීපාවුන් භාරව සිටි උත්තමයකුගේ වීම ලැඡ්ජා දෙගුණ තෙගුණ කරනසුළු විය. අවංකව රාජකාරියේ නිරතවීමේ "බෝනස්" ලෙස වැඩ තහනමට, සේවා මාරුවට බියෙන් මුළුගැන්වී සිටි වනජීවියේ මහත්වරු මෑතකදී සිදුවූ "බල පෙරළිය" හේතුවෙන් මේ වන විට සිටින්නේ ප්‍රාණයක් ලද මිනිසුන් බවට පත්වෙමින්ය. හෙළිදරව් වන තොරතුරුවලට අනුව දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ඔවුන් නැවතත් රාජකාරියට දායක වෙමින්ය. ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ මාදුරුඔය ජාතික වනෝද්‍යානය නැවත වතාවක් වන සතුන්ට උරුම කර දීමේ වෑයමකය.
වනජීවී පනතට අනුව රටේ කුමන හෝ ජාතික වනෝද්‍යානයක් තුළට ගෘහාශ්‍රිත සතුන් එසේත් නැත්නම් හීලෑ කරන ලද සතුන් ඇතුල්කිරීම, රැගෙන යැම නීතියෙන් තහනම්ය. එය දඬුවම් ලැබිය හැකි වරදක්‌ය. සතෙකු පමණක් නොව කුඩා පැළෑටියක තරමේ දෙයක්‌වත් අනවසරයෙන් රැගෙන යැමට කිසිවකුට අවසර නැත්තේ කාරණා කීපයක් හේතුවෙන්ය. ඒ තුළින් වනයේ සරන සතෙකුට හෝ පරිසරයට යම් හානියක් වේ නම් එය අවම කිරීමේ අදහසින්ය. එබැවින් වනජීවී කලාපයකට ඇතුල් වීම, ඉන් පිටවීම පවා සිදු කළ යුතුව ඇත්තේ නිසි අවසරයක් සහිතවය. ඒ සඳහා මාර්ගෝපදේශන සේවයක් ද වනජීවී දෙපාර්තමේන්තුව මගින් සපයන්නේය.
රටේ අනෙකුත් ජාතික වනෝද්‍යානයන් තුළ අඩු වැඩි වශයෙන් ද මාදුරුඔය ජාතික වනෝද්‍යානය කිරි ගවයන්ට ගිය උද්‍යානයක් බවට පත් වන්නේ ද මේ කියන නියමයන්ට පරිබාහිරවය. මාදුරුඔය අලි ඇතුන් බහුලව ගම්වදින්නට ගත්තොත් අනෙක් වන සතුන් හට අධිකව බඩගිනි දැනෙන්නේත් අවසානයේ මාදුරුඔය කිරි ගවයන්ගේ බිමක්a පමණක් බවට පත් වන්නේත් එතැන් සිටය.
ජාතික වනෝද්‍යාන තුළට නීතිවිරෝධී අයුරින් ගවයන් ඇතුල් කිරීම කලක පටන් සිදුවන්නේය. ගව හිමියන්ගේ බලපුළුවන්කාරකම් දේශපාලන දැන හැඳුනුම්කම් සහ කලාතුරකින් හමුවන දූෂිත නිලධාරීන්ගේ කැමැත්ත මත සිදුවන මෙවැනි විපත්වලින් පරිසරය සහ පරිසරයේම කොටසක් වන වන සතුන් බේරා ගැනීම පිණිස රාජකාරිය දේවකාරිය සේ සලකන නිලධාරීන් එදත් අදත් නිරන්තර අරගලයකය. බොහෝ විට එවැනි දේ සීමා කිරීමට ඔවුන් සමත් වුවත් මුළුමනින් නතර කර දැමීම පහසු කාර්යයක් නොවීය. එසේ කිරීමට උත්සාහ කළ ඇතැමෙක් ගෙදරම ගොස් නතර වූ අතර ඇතැමෙක් ස්‌ථාන මාරුවීමකින් හෝ වෙනත් කුමන හෝ කරුණකින් බැට කන ලදී. මාදුරුඔයට දහස් ගණනින් යුත් ගව පට්‌ටි ඇතුළු කිරීම ආරම්භ වන්නේද ඔය කියන වටපිටාව තුළය. ඒ මීට වසර දෙක තුනකට එපිටය. ප්‍රදේශයේ ප්‍රබලම දේශපාලන හස්‌තයක් තිරය පිටුපස විය. බිය වැද්දීම්, තර්ජනය කිරීම් හමුවේ වනයත් එහි ඇති අසිරියත් රැක ගැනීම පිණිස දිවා රෑ වෙහෙසෙන වනජීවී නිලධාරීන් නිහඬ කරවන්නේද ඔය කියන ලද දේaශපාලන හස්‌තය විසින්ය.
ඇමැතිවරයා යනු දේශපාලන සත්ත්වයකු බැවින්ද ඔහුට මැතිවරණ ජයග්‍රහණ සඳහා "මනාපය" අත්‍යවශ්‍ය සාධකයක් වන බැවින් ද හෙළිදරව් වන ආකාරයට මාදුරුඔය වනෝද්‍යානය වටා ඇති අලි වැට හෙවත් විදුලි වැට ඈත් මෑත් කර කිsරි ගවයන් රක්‍ෂිතය වෙත දක්‌කනු ලබන්නේ ඔහුගේ අණට බය පක්‍ෂපාත ඔහුගේම ගෝලයන් විසින්ය.
එතැන් සිට සිදුවන දෑ පැවසීමට මාදුරුඔය ඇතුළු රටේ විවිධ ප්‍රදේශයන්හි වනජීවී අත්දැකීම් සහිත පුද්ගලයකු ඉදිරිපත් වූ අතර තමන්a ඇතුළු අනෙකුත් සහෝදර නිලධාරීන් ලබා ඇති අත්දැකීම් ඇසුරෙන් ඔහු ඉතිරිය පවසන්නට විය.
"හරක් අයිතිකාරයෝ කරන්නේ විවිධ සම්බන්ධකම් හදාගෙන ඔයවිදියට තමන්ගේ පට්‌ටිය අභයභූමි තුළට ඇතුල් කරන එක. බොහොමයක් අභයභූමිවල වැවෙන "අලි මානා" ගවයන්ට හොඳ ආහාරයක් (අලි මාන යනු තෘණ විශේෂයකි) කැලේ ජීවත්වන අලියට. කොළ ජාති ආහාරයට ගන්න වෙනත් සතුන්ට කන්න ඉබේ වැවෙන අලිමාන ටික හරක් කන්න ගත්තට පස්‌සේ කැලේ සත්තුන්ට ආහාර නැතිව යනව. අලිය අලි මාන, කෑවට හොඬවැලට අහු නොවෙන ටික ඉතුරු වෙනව. හරක් උලා කනකොට එහෙම ඉතිරි වෙන්න දෙයක් නෑ. එක පට්‌ටියේ තුන් හාර සීය ඉන්න හරක් මුළු පළාතෙම තියෙන අලි මානා කන්න ගන්නව. විශාල පට්‌ටි කැලේ සැරි සරන කොට උන්ගේ කුරවලට පස බුරුල්වෙලා පාංශු ඛාදනය ඇති වෙනව ගොම ගව මුත්‍රා හේතුවෙන් පරිසරය විනාශ වෙන්න ගන්නව. ඊට අමතරව වන සතුන්ගේ නිදහස් ජීවන රටාව උන්ට අහිමි වෙනවා.
ඒක වෙන්නේ මෙහෙමයි. කැලේට හරක් දක්‌කන මිනිස්‌සු කරන්නේ හරක් ටික එක්‌කම කැලේට ඇවිල්ල ඒ අය "වාඩි" ගහගන්නව. මේ පට්‌ටිවල ඉන්න ගවයන්ට වගේම ඒ මිනිස්‌සුන්ටත් කැලය හොඳට හුරුයි. ඔහොම සති ගණන්, මාස ගණන් කැලේට වෙලා ඉන්නකොට කැලේ ඉන්න කුළු හරක් පට්‌ටියෙ ඉන්න මී දෙනුන් සමග පට්‌ටි වැටෙන්න ගාලට ළං වෙනවා. එහෙම ළං වුණ ගමන්ම හරක් බලන මිනිස්‌සු කරන්නේ "ගාලෙ" කඩුල්ල වහල කුළු හරක්‌ව මෙල්ල කරන එක. ඒකට හරක් බලන මිනිස්‌සු උපන්ගෙයි දක්‍ෂයෝ. කුළු හරකගේ පස්‌ස ගාතයට කකුල තියල ඌව මෙල්ල කරන්න මේ අය දක්‍ෂයෝ. ඒකට පට්‌ටියේ ඉන්න ගවයන්ගෙන් ප්‍රයෝජන ගන්නව. ඒකට පුරුදු පුහුණු කරපු හීලෑ ගවයෝ ඔය කියන පට්‌ටියෙම ඉන්නව. එහෙම මෙල්ල කරන කුළු හරක්‌ව කඹ දාලා බැඳලා දවස් හය හත වතුර ටිකක්‌වත් නැතුව ගැටගහල තියෙන කොට බඩගින්නට පිපාසයට උන්ම අඩපන වෙන්න ගන්නවා.
ඊට පස්‌සේ මේ අය කරන්නේ උන්ව හණ ගහන එක. එහෙම හණ ගහල අලුත් මස වැහෙන්න අළු ගහනව. දැන් කුළු හරකත් පේන්නේ ගව පට්‌ටියෙම ගවයෙක් විදියට. එහෙම කරන කුළු හරක්‌ව ඊළඟට කරන්නෙ මස් කඩයට විකුණන එක. එක කුළු හරකෙක්‌ව රුපියල් තිස් හතළිස් දාහට විකුණනව. එහෙම කරන්න ඕන හින්ද තමයි මෙල්ල කරපු හැටියෙම හණ ගහන්නේ. ඒ දවස්‌වල වන ජීවියෙන්a මේව නතර කරන්න කොච්චර උත්සාහ කළත් ඒවට ඉඩ ලැබෙන්නේ නෑ. මේ දේවල් කොහොම හරි වෙනව."
"අනික තමයි නීතිය ක්‍රියාත්මක කරල වන ජීවියෙන් රක්‍ෂිත ඇතුළේ ඉන්න හරක්‌ව එළියට දැම්මෙ නැතත් ගවයන්ගේ අයිතිකාරයෝ පට්‌ටියෙ ඉන්න තෝරාගත් ගවයන්ව මස් කඩේට විකුණනව. සාමාන්‍යයෙන් පැටව් බෝ කරන්න ගව පට්‌ටියක පිරිමි සත්තු දෙතුන් දෙනෙක් හිටියාම ඇති. ඒත් පට්‌ටියක් ගත්තම පිරිමි සත්තු ඕන තරම් ඉන්නව. වනජීවියෙන් එළියට දැම්මත් නොදැම්මත් උන්ගේ ජීවිතය නිමා වෙන්නේ මස් කඩෙන්."
"ගව පට්‌ටි අභයභූමි ඇතුළේ ගාල් කිරීම හේතුවෙන් පරිසරයට තවත් ලොකුම හානියක් වෙනව. ඒක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අලි මාන කිsයන්නේ ඉබේ වැවිල ඉබේම විනාශ වෙන තෘණ වර්ගයකට. මේකට ගිනි තිබ්බොත් බටගාලට ගිනි ඇවිළුණා වගෙයි මුළු පළාතෙම තියෙන අලිමාන දැවිල පිච්චිල යනව. අලිමාන ආපසු වැඩෙන්න නම් පුච්චන්න ඕන. කැලේට වෙලා ගව පට්‌ටි බලාගන්න මිනිස්‌සු කරන්නේ ඉවක් බවක් නැතිව මේව පුච්චන එක. එහෙම පිච්චුනාම එක සීරුවට ආපහු අලි මාන වැවෙන්න ගන්නව. ඒ දල්ල ගවයන්ට හොඳකෑමක්. හැබැයි ඒකෙන් පරිසරයට වෙන හානිය ඉවරයක් නැ. කුඩා කුඩා සතුන් වර්ග විශාල ප්‍රමාණයක්, සර්පයන්, ඉබ්බං වර්ග රාශියක් කුරුල්ලන්, කුරුලු බිත්තර විශාල වශයෙන් මේ ගින්නෙන් විනාශ වෙන්න ගන්නව. කැලේ ජීවත් වෙන සතුන්ට කෑම නැතිවෙනවා. අලි ගම් වදින්න ගන්නව. මිනිස්‌සු කරන විනාශ හින්ද පරිසර පද්ධතියම විනාශවීම හේතුවෙන් දිනෙන් දින ඒවායේ තියෙන වටිනාකම් නැති වෙන්න ගන්නව. මේ දේවල් නතර කරන්න උත්සාහ කරන නිලධාරීන් විවිධ පීඩනයන්ට ලක්‌වෙන හින්දා ඒ අයට කරන්න දෙයක් නැති හින්ද මේව දිගින් දිගටම වෙන්න ගත්ත".
ඔය අතරේ වන සතුන් දඩයමට ලක්‌වෙනවා. එන්න එන්නම මේ තත්ත්වය ඉහළ යද්දී තමයි වනජීවී දෙපාර්තමේන්තුව මේ වන විට නීතිවිරෝධී ලෙස අභයභමි වල ගාල් කරගෙන ඉන්න කිරිගව පට්‌ටි එළියට දාන්න මෙහෙයුම් ආරම්භ කරල තියෙන්නේ. මෙච්චර කාලයක් දේශපාලන බලපුළුවන්කාරකම හින්ද ඒ දේවල් හරිහැටි කෙරුණේ නෑ.
"අභයභූමි ආරක්‍ෂා කිරීම, ඒව මතු පරපුර වෙනුවෙන් රැක බලාගැනීම වනජීවීයේ වගකීමක්. මේව දකින ඇතැම් අය චෝදනා කරන්න පුළුවන් වනජීවී මහත්වරුන් මේවට හවුල් කියල. එහෙම නිලධාරීත් නැතුව නෙමෙයි. දේශපාලන හයියත් එක්‌ක ඇතැම් වනජීවී නිලධාරීන් ඇතැම්විට මේ අපරාධවලට හවුල් වෙනව ඇති. හැබැයි බහුතරයක් එහෙම නෙවෙයි. ඒ අය රාජකාරිය හරියට කරන්න උත්සාහ ගත්ත. හැබැයි ඒක හරියට කරගන්න බැරි වුණා. අන්තිමට වුණේ වන සතුන් ආරක්‍ෂා කරගන්නව වෙනුවට ඒ අයගේ රස්‌සාව ආරක්‍ෂා කරගත්ත වෙච්ච එක විතරයි.
කලක් අභයභමි තුළට ගවපට්‌ටි ඇතුල් කිරීම අවම කිරීමේ අරමුණින් ඉන් පිටත සීමාවේ තෘණ භූමි ඇති කිරීමට බලධාරින් උත්සාහ ගෙන ඇතත් එය ගඟට ඉනි කැපුවා වගෙයි. ගව හිමියන් විසින් ගව පට්‌ටි සම්බන්ධව නිවැරැදි තොරතුරු ලබා නොදීම හේතුවෙන් ප්‍රමාණවත් වපසරියකින් යුත් තණබිම් සැකසීමට අපහසු වීම එයට හේතුව වී ඇත. වනජීවී නිලධාරීන් පවසන්නේ එය ගව හිමියන්ගේ උපක්‍රමයක් බවයි. ගවයන් අභයභූමි තුළ ගාල් කිරීමෙන් ලැබෙන අමතර වාසි නොලැබී යැම එයට හේතුව වී ඇති බව වනජීවී නිලධාරීන්ගේ මතය වී ඇත.
මේ වන විට මාදුරුඔයෙන් හෙළිදරව් වෙමින් පවතින්නේ මෙතෙක් කල් නීතිය "අවනීතියක්" බවට පත් කරගත් ඇතැම් ගව හිමියන්ගේ කැත හිරිකිත නිරුවතය. ජාතික වනෝද්‍යානයක් යනු කිරි ගව පාලනය සඳහාවත් ඒ මුවාවෙන් වෙන වෙනත් ජාවාරම් සඳහාවත් වෙන් කරන ලද භූමියක් නොවන අතර එය වන සතුන් නිදහසේ සැරිසරන පාරාදීසයක් විය යුතුය. දැන් සිදුවෙමින් ඇත්තේ අභයභූමි තුළට ගෘහාශ්‍රිත සතුන් ඇතුළත් කිරීමෙන් සිදුවන පාරිසරික හානි අවම කරවීම සඳහා අත්‍යවශ්‍යයෙන් ම සිදු කළ යුතු මෙහෙයුම්ය. සංඛ්‍යා ලේඛන සහිතව රටට හෙළිදරව් වෙමින් පවතින්නේ මෙතෙක් කලක් සිදු කොට ඇති වරදේa බරපතළකමය.
මාදුරුඔය ජාතික වනෝද්‍යනය යනු ජාතිය සතු සම්පතක් බැවින් එය ආරක්‍ෂා කිරීම අදාළ නිලධාරීන්ගෙන් මෙන්ම ආයතනවල ද වගකීම වන්නේය. මේ වන විට දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව නීතිය අකුරට ක්‍රියාත්මක වෙමින් පවතී. එය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රාජකාරිය වී ඇත. ඔවුන්ගේ වගකීම වී ඇත්තේ නීතිවිරෝධී ආකාරයෙන් වනජීවී කලාපයට ඇතුල් කොට ඇති ගව පට්‌ටි ඉන් පිටත් කොට එහි ඇති පාරිසරික වටිනාකම ආරක්‍ෂා කරදීමය. ඉන් අනතුරුව ගව පට්‌ටි හෝ ගව හිමියන්ට මුහුණ පෑමට සිදුවන ගැටලු සම්බන්ධව වනජීවියට "ගැටලුවක්" නැත.
තමන්ගේ රාජකාරි භූමි සීමාවෙන් ගෘහාශ්‍රිතව ඇති කරන ලද ගවයන් පිට කිරීමෙන් අනතුරුව වෙනත් පිරිසක් විසින් උන් රැගෙන යන්නේ "මසටද" අලෙවි වන්නේ කුමන මිලකටද එලෙස පිට කරන ලද ගව පට්‌ටිවලට අයත් ගවයන් කොපමණ ප්‍රමාණයකට "මරණය" හිමිවේද යන්න සොයා බැලිය යුත්තේ පොලිසිය සමග එක්‌ව කිරිගව පාලනයට සම්බන්ධ ආයතන මිස වනජීවී දෙපාර්තමේන්තුව නොවිය යුතුය. සැලසුම් සහගතව අභයභූමි වෙත ඇතුල් කරන ලද ගව පට්‌ටි යොදා ගන්නේ කිරිගව පාලනය සඳහා පමණක්‌ම ද වෙනත් කාරනාත් එයට අදාළ ද යන්න සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් දීම ජාතික වගකීමක් විය යුත්තේත් මේ වන විට එය ක්‍රියාවට නැඟෙමින් පැවතීම අගය කළ යුතුව ඇත්තේත් අනාගත යහපත පිණිසය. එසේ නොවන්නේ නම් අනාගතයේදී ජාතික වනෝද්‍යානයක් තුළට පිවිසෙන ඕනෑම කෙනෙකුට දැක ගැනීමට ලැබෙන්නේ හේඩෑව ගිය වනෝද්‍යාන තුළ උලාකන කේඩෑරිව ගිය ගවයන් රංචු පමණය.
රුවන් ජයවර්ධන
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment