Pages

Sunday 22 February 2015

අමාලි සරසවියෙන මරුතුරුළට රැගෙන ගියේ නවකවදයද?


හදිසි අනතුරු, යෞවන වයසේ පුද්ගල සියදිවි හානිකර ගැනීම් සහ අකාලයේ මියපරලොව යන වටිනා ජීවිත ගැන අපට ඕනෑ තරම් අසන්නට ලැබේ. දිනපතා පළවන පුවත්පතක එවැනි තොරතුරු නොමැති පුවත්පතක්‌ සෙවීම හරියට කිසාගෝතමිය නොමළ ගෙයකින් අබ මිටක්‌ සොයාගියා වැන්නකි. එවැනි පසුබිමක පසුගිය සතියේදී ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගත් අමාලි චතුරිකාගේ මරණය බොහෝ දෙනාගේ කතාබහට ලක්‌වූ විවාද සම්පන්න මාතෘකාවක්‌ බවට පත්වූ බව පෙනුණි. එය එසේ වූයේ ඇය සරසවි ශිෂ්‍යාවක නිසාම නොවේ. ඇගේ සියදිවි හානිකර ගැනීමට තුඩුදුන් බව සැක කෙරෙන හේතූන් සහ ඊට පරස්‌පර විරෝධී හේතු කාරණා විවිධ පාර්ශ්ව මගින් දැන් දැන් හෙළිවෙමින් තිබෙන බැවිනි.

අමාලි චතුරිකා තමන්ගේ ජීවිතය තොරකර ගැනීමේ මේ දැඩි තීරණයට එළැඹෙන්නේ සබරගමුව සරසවියේ ව්‍යවහාර විද්‍යා පීඨයේ දෙවැනි වසර ශිෂ්‍යාවකව සිටියදීය. ඉකුත් 17 වැනිදා පෙරවරුවේ ඇය මේ විනාශය කරගන්නා විට නිවසේ කිසිවකුත් නොසිට තිබේ. ඒ වන විට ඇගේ මව වසන්ති ඇල්විටිගල රැකියාවට පිටත්ව ගොසිනි. තමන්ගේ දියණිය මීට පෙර අවස්‌ථා දෙකකදීම සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බව කියන ඇය අමාලිගේ මරණය සම්බන්ධයෙන් මේ කියන කතාව මේ සිද්ධිය හා බැඳි එක්‌ පැතිකඩක්‌ හෙළි කරන්නකි.
 
දුව කැම්පස්‌ එකේ "රැග්" එක නිසා කැම්පස්‌ ගිය දවසෙ ඉඳන් ගොඩක්‌ දුකින් හිටියෙ. එයාගෙ ඉස්‌කෝලෙම යාළුවෙක්‌ මැදිහත්වෙලා දිගින් දිගටම එයාට රැග් කරනවා කියල දුව නිතර කිව්වා. ඒ ළමයි දෙන්නත් දුවත් එක්‌කම එකම පන්තියෙ ඉගෙන ගත්ත අය. සමහර දවස්‌වලට මේ නිසා එයාට ආයෙත් කැම්පස්‌ යන්න බෑ කියල කිව්ව. ඒ තරමට දුවට කැම්පස්‌ එක ගැන කලකිරිල තිබුණේ. සමහර විට දුව මට කීව දේට වඩා ගොඩක්‌ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ ගැන ඇහුවත් මොන හේතුවක්‌ නිසාද මන්දා මට ඒවා හෙළිකළේ නැත්තෙ. අඩුම ගානෙ අනිත් ළමයි එක්‌ක කතා කරන්නවත් දෙන්නෙ නැතිව දුවව කොන් කරලයි තිබුණෙ. මේ ප්‍රශ්න නිසා වෙනත් විශ්වවිද්‍යාලයකට යන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලීමක්‌ කළත් ඒකටත් ඉඩ ලැබුණෙ නෑ. මම කිව්වා දුවට කැම්පස්‌ යන්න බැරි නම් ගෙදර ඉන්න කියල. ඒත් එයාට කොහොම හරි උපාධිය කරගන්න ඕන ආසාව තිබුණා.

අමාලිගේ මව එසේ කීවේ දියණියගේ මරණයට විශ්වවිද්‍යාලයේ නවකවදය හේතුවක්‌ වූ බව හඟවමිනි.

චතුරිකාට පැමිණි මේ කරදර නිසා ඇය විශ්වවිද්‍යාලයේ නේවා සිකව නොතබා අසල නිවසක නතර කිරීමටද මේ මව පියවර ගෙන තිබේ. ඒ අතරතුරදී ඇයට නවකවදය දෙන බවට කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයෙන් පරීක්‍ෂණයක්‌ද පවත්වා ඇත. නමුත් චතුරිකාගේ මවගේ ඉල්ලීම පරිදි එම පරීක්‍ෂණයද නවතා දමා තිබේ. ඇයද එවැන්නක්‌ සිදුවූ බව පිළිගන්නීය.

නමුත් මේ කතාවේ අනෙක්‌ පැතිකඩ නම් සබරගමු සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨාධිපති සහ උපකුලපතිවරයා මාධ්‍යයට අමාලි චතුරිකා ශිෂ්‍යාව සම්බන්ධව කර ඇති හෙළිදරව් කිරීමය. එම තොරතුරුවලට අනුව අමාලි චතුරිකා කලක සිට මානසික ආතතියෙන් පීඩා විඳි ශිෂ්‍යාවකි. එම රෝගය නිසා ඇය විශ්වවිද්‍යාලයේ උපදේශක සේවාවන්ටද යොමුකර ඇත. රෝගී තත්ත්වය නිසා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුද ඇයට අතපසුව තිබෙන අතර ඒ නිසා නැවත වරක්‌ පළමු වසරේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමටද ඇයට විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් අවසර ලැබී තිබේ. සබරගමු සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය උදය රත්නායක මේ සම්බන්ධයෙන් හෙළිකරන තොරතුරු වැදගත්ය.

"ඔය ළමයා විශ්වවිද්‍යාලයට ආවේ ගිය වසරේ නේවාසිකාගාරයේදී මෙයා අමුතු විදියට හැසිරෙන්න පටන් අරගෙන තියනවා. මේ ගැන වාර්තා වුණාට පස්‌සේ ළමයගෙ අම්මා ගෙන්නල ගෙදර යෑව්වා. පස්‌සේ බෙහෙත් කරල හොඳවෙලා නැවත ආවා. ඔය විදියට කීප වාරයකදීම ආව ගියා. මේ ශිෂ්‍යාව ආව මුල් දවස්‌වල එක එක ප්‍රශ්න හදාගත්තා. සමහර අවස්‌ථාවලදී ඒ ගැන කියන දේ එකිනෙකට පරස්‌පරයි. ගැලපෙන්නෙ නෑ. මේ තත්ත්වය නවකවදය නිසා ඇතිවුණ දෙයක්‌ද කියල බලන්න අපි පරීක්‍ෂණයක්‌ සිදුකළා. ඒත් ඇගේ මවගේ ඉල්ලීම මත ඒ පරීක්‍ෂණය අතරමඟ නතර කළා. මවගේ ඉල්ලීම වුණේ මෙතනින් එහාට පරීක්‍ෂණ අවශ්‍ය නෑ. ඉගෙන ගන්න අවශ්‍ය පරිසරය හදල දෙන්න කියල. ඒ සිද්ධියෙන් පස්‌සෙ කිසිම පැමිණිල්ලක්‌ ලැබුණෙ නෑ. නමුත් ලෙඩ නිසා රෑට පාඩම් කරන්න බෑ කියල වසරක නිවාඩු අයෑදුම් කර තිබුණා. මේ සිද්ධිය වෙනකොට මේ ශිෂ්‍යාව නිවාඩු ගෙන හිsටියෙ.

මහාචාර්ය උදය රත්නායක හෙළිකර ඇති මේ තොරතුරුවලට අනුව අමාලි චතුරිකා විශ්වවිද්‍යාලයට පැමිණි කාලයේ පටන්ම ඇය මානසික ආතතිය රෝගයෙන් පීඩා විඳ තිබේ. නමුත් ඇය මේ රෝගයට ගොදුරු වීමට ලක්‌වූයේ නවකවදය නිසාද නැත්නම් ඊට පෙර සිටම ඇය එම රෝගයෙන් පෙළුණේදැයි මේ කිසිදු ප්‍රකාශයකින් ගම්‍ය නොවේ. ඇය සියදිවි හානිකර ගන්නා දිනයේද එයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කළුබෝවිල රෝහලට යායුතුව තිබූ බව චතුරිකාගේ මව ප්‍රකාශ කරන්නීය.

එයා රැග් එකට අහුවුණා කියලා පසුගිය අවුරුද්දෙ විශ්වවිද්‍යාලෙ යන එක අත්හරින්න උත්සාහ කළා. පස්‌සෙ මානසික පීඩාවට දිගටම බේත් ගත්තා. මරණය සිද්ධ වුණ දා උදේ ක්‌ලිනික්‌ යන්න හිටියෙ. එයාට තව පොඩ්ඩක්‌ ඩොක්‌ටර් එක්‌ක කතා කරන්න ඕන කියල තිබුණා.

එසේ ප්‍රකාශ කරන්නේ චතුරිකාගේ මවයි. කුඩා කාලයේදීම පිය සෙනෙහස අහිමිවන මේ දියණියව ඉතා දුක්‌ මහන්සියෙන් උගන්වා ලොකු මහත් කර ඇත්තේ ඇගේ සවි ශක්‌තියෙනි. කොට්‌ටාව ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇය සරසවි වරම් ලබන්නේ දේවි බාලිකාවෙන් උසස්‌ පෙළ හදාරමිනි. තමන්ගෙ තනි නොතනියට සිටි මවගෙ සිහින බලාපොරොත්තුද ඇය මතුදාක රැකබලා ගැනීමේ වුවමනාවද චතුරිකාට නොතිබුණා නොවේ. එහෙත් ඒ සිහින පවුරු එක මොහොතකදී බිඳින ඇය තම මවද මෙලොව තනිකර දමා සියදිවි හානිකර ගනී. ඒ ඇගේ අවසන් කැමැත්ත ලෙස මෙලෙස ලිපියක්‌ද ලියා තබමිනි.

"මගේ මිනිය පුච්චන්න. පුළුවන්නම් බොරැල්ල කනත්තෙදි. ඒ තමයි අදටත් මම දේවි මාතාවට ආදරේ නිසා. ඒ ආසන්නයෙ වළලන්න ඇති කැමැත්ත. මගේ මේ පොත් සේරම මගේ මිනියත් එක්‌ක පුච්චන්න. මගේ ලැප් එකයි, ටැබ් එකයි, ෙµdaන් එකයි තරින්දට දෙන්න. මගේ පොත්වල තියන සල්ලි වලින් අවසන් කටයුතු චාමෙට කරන්න. කිසිම සබරගමුව කැම්පස්‌ එකේ ළමයෙක්‌aට මගේ අවමංගල්‍යයට සහභාගි නොවන ලෙස තරයේ ඉල්ලා සිටිනවා. මට කිසියම් උරුමයක්‌ තියෙනවා නම් ඒ සියල්ල මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කරන්න.

එසේ ලියා තැබූ ඇය තමන්ගේම සාරිය ගෙල වැලලාගෙන මියගොස්‌ තිබේ. සබරගමු සරසවි සිසුන්ට අවමංගල්‍යයට සහභාගි නොවන ලෙස කර ඇති ප්‍රකාශය ඇය එම විශ්වවිද්‍යාල සිසුන් සමග දැඩි පිළිකුලකින් පසු වූ අයුරු සනාථ වන කරුණකි. යම් හෙයකින් ඇය සියදිවි හානිකර ගත්තේ මෙම කරුණ නිසාම නම් යළිත් එයින් හෙළිවන්නෙ මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ නිරුවත් කමයි. මේ ක්‍රමය තුළ විශ්වවිද්‍යාලය දක්‌වා ඉගෙන ගන්නා උගත් ශිෂ්‍යාවකගේ ජීවිතය පිළිබඳ ඇති තක්‌සේරුව එය නම් අපේ රටේ අධ්‍යාපනයෙන් සිදුවන්නේ කුමක්‌දැයි අපට නොතේරේ. එක්‌ මාර්ගයක්‌ අවහිර වන විට විකල්ප මාර්ග නොතිබෙන හිස්‌ තැනකට මනස වැටීමටද ජීවිතයෙ ප්‍රශ්න දරා ගැනීමේ ශක්‌තිය නොමැති වීමද ඇගේ වරදක්‌ නොව ඇය සකස්‌ කළ මේ ක්‍රමයේ වරදකි. සරසවි ශිෂ්‍යාවක වන චතුරිකා පමණක්‌ නොව අපට දිනපතා ඇසෙන සියදිවි නසා ගැනීම් බොහොමයක ඇතුළාන්තයෙන් හඬගා කියන්නේද එයයි.

No comments: