අපේ රටේ රූපවාහිනි මාධ්‍ය තුළ කේවල් කිරීමේ, නොඑසේනම් හෙට්ටු කිරීමේ බලය තියෙන්නේ රූපවාහිනි නාළිකාවලට. ඔවුන්ට තමයි බලය තියෙන්නේ. ඒ බලය ස්වාධීන නිෂ්පාදන ආයතනවලට හෝ ස්වාධීන නිෂ්පාදකයන්ට හෝ නැහැ. ඒ නිසා පෞද්ගලික අංශය නිපදවන ටෙලි නාට්‍ය කෙරෙහි අදාළ නාළිකා සැලකිල්ලක් දක්වන්නේ නැහැ.
ටිකක් හරි පිටින් ගන්නේ බාල ගණයේ මෙගා ටෙලි නාට්‍ය විතරයි. නමුත් පිටරට තත්ත්වය මීට වෙනස්. ඒ රටවල නාළිකා වැඩි ප්‍රතිශතයක් මිලදි ගත්තේ ස්වාධීන නිෂ්පාදකවරුන් ගෙන්. අපේ රටේ ටෙලි නාට්‍ය කර්මාන්තයේ අර්බුදයට මූලික හේතුව මේකයි.
ටෙලි නාට්‍ය යනු කලා කෘති නොවේ ය යන මතවාදයක් ස්ථාපිතව තිබු කාල වකවානුවක ‘භාවනා’, ‘අමරපුරය’ වැනි ටෙලි නාට්‍ය ඔස්සේ රූපවාහිනි ප්‍රේක්ෂකයන්ට අර්ථවත් වින්දනයක් ලබාදුන් ටෙලි නාට්‍යවේදියකු ලෙස බර්ට්‍රම් නිහාල් හඳුන්වා දිය හැකිය. ප්‍රේක්ෂකයන් උසස් ටෙලි නාට්‍ය ප්‍රතික්ෂේප නොකරන බව ඔහු මෙම නාට්‍යවල සාර්ථකත්වයෙන් මනාව ප්‍රත්‍යක්ෂ කර සිටියේය.
* ‘අමරපුරය’ ටෙලි නාට්‍යයෙන් පසු ඔබ වසර තුනක් නිහඬයි?
එකක් පෞද්ගලිකව ඇතිවෙලා තියෙන කලකිරීම. අනික ටෙලි නාට්‍ය කර්මාන්තයේ පවතින අර්බුදය.
* මොකද්ද කලකිරීම? මුලින්ම ඒ ගැන අපි කතා කරමු.
ලංකාවේ හුඟක් විචාරකයෝ ‘අමරපුරය’ ප්‍රශස්ත ටෙලි නිර්මාණයක් ලෙස අගය කළා. මං හිතන්නේ එයට තරම් විචාර මෑතදී වෙන කිසිම ටෙලි නාට්‍යයකට ලියැවුණේ නැහැ. ඔවුන් දක්වපු අදහස් ප්‍රබලයි; ඒ වගේම ගැඹුරුයි. නමුත් සම්මාන උත්සවවලදී එය නොසලකා හැරියා. අඩුම ගාණේ හොඳම ටෙලි නාට්‍යය සඳහා නිර්දේශ කළේවත් නැහැ. මේවා යට මොනව තිබුණ ද කියා කියන්න මා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් එකල සම්මාන උත්සව පවා දේශපාලනිකරණය වෙලා තිබුණනේ. එහෙම දේශපාලන දෘෂ්ටියකින් මගේ නිර්මාණය දිහා බැලුව ද දන්නෙ නැහැ. කොහොම වුණත් මේ ප්‍රශ්නය ශාස්ත්‍රීය විදියට අරගන්න මං කැමැතියි. ඒ කියන්නේ මේ විනිශ්චය මණ්ඩල සාමාජිකයන්ට දෘශ්‍ය කලාව පිළිබඳ තිබෙන දැනුම මොකද්ද කියන එක. විශේෂයෙන් සංඥාර්ථ පිළිබඳ ඔවුන් තුළ කිසිම අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්ට නැහැ. මේ අය අඩුම ගාණේ පීටර් වුලන්ගේ ‘සයින් ඇන්ඩ් මීනිං ඉන් ද සිනමා’ කියන පොතවත් කියවලා තියෙනව ද කියන එක සැක සහිතයි.
* ටෙලි නාට්‍ය කර්මාන්තයේ අර්බුදයක් ගැන ඔබ කතා කළා. මොකද්ද ඒ අර්බුදය?
අපේ රටේ රූපවාහිනි මාධ්‍ය තුළ කේවල් කිරීමේ, නොඑසේනම් හෙට්ටු කිරීමේ බලය (BARGAIN POWER) තියෙන්නේ රූපවාහිනි නාළිකාවලට. ඔවුන්ට තමයි බලය තියෙන්නේ. ඒ බලය ස්වාධීන නිෂ්පාදන ආයතනවලට හෝ ස්වාධීන නිෂ්පාදකයන්ට හෝ නැහැ. ඒ නිසා පෞද්ගලික අංශය නිපදවන ටෙලි නාට්‍ය කෙරෙහි අදාළ නාළිකා සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ටිකක් හරි පිටින් ගන්නේ බාල ගණයේ මෙගා ටෙලි නාට්‍ය විතරයි. නමුත් පිටරට තත්ත්වය මීට වෙනස්. ඒ රටවල නාළිකා වැඩි ප්‍රතිශතයක් මිලදි ගත්තේ ස්වාධීන නිෂ්පාදකවරුන් ගෙන්. අපේ රටේ ටෙලි නාට්‍ය කර්මාන්තයේ අර්බුදයට මූලික හේතුව මේකයි. මගේ පෞද්ගලික උදාහරණවලින් කතා කළොත් 2004 විකාශය කළ මගේ ටෙලි නාට්‍යයක් 2005 මැතිවරණයෙන් පසු විකාශය අත්හිටෙව්වා. මගේ ‘අමරපුරය’ අවුරුදු තුනක් යනකම් රූපවාහිනි නාළිකාවකට විකුණගන්න බැරිව ගියා. මේ සියල්ල තුළ පෙනෙන යථාර්ථයක් වගේම නොපෙනෙන යථාර්ථයකුත් තිබෙනවා. කේවල් කිරීමේ තනි බලය රූපවාහිනි නාළිකා සතුවෙද්දි ස්වාධීන නිෂ්පාදකවරුන් වන අප අසරණ තත්ත්වයකට ඇද වැටෙනවා.
* වෘත්තිය මට්මටින් පරිණත ස්වාධීන ටෙලි නාට්‍ය නිෂ්පාදකවරුන් අපිට ඉන්නවා කියලා ඔබ හිතනව ද?
ඉන්නවා. ඒත් අවංකව කිව්වොත් ඒ ඉතාම සුළුතරයක් පමණයි. වෘත්තිය මට්ටමේ නිෂ්පාදකවරයකු වෙන්න නම් ඔහුට ප්‍රතිභාව පමණක් තිබීම ප්‍රමාණවත් නැහැ. ඔහුට මාධ්‍යයේ නව ප්‍රවණතා, ආචාර ධර්ම, තාක්ෂණයේ වර්ධනය පිළිබඳ සැලකිය යුතු දැනුමක් තිබිය යුතුයි. බොහෝම සරල උදාහරණයක් ගත්තොත් හින්දි චිත්‍රපටයක ගීතමය ජවනිකාවක් ගන්න. ඒක බලද්දි අපිට තේරෙනවා, අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පියා, සංස්කාරකවරයා මොන තරම් වෘත්තිය මට්ටමකින් ඒ ජවනිකා නිර්මාණය කරලා තියෙනව ද කියලා. කාච යොදා ගැනීම, රූප ගැළපීම, ක්ෂේත්‍ර ගැඹුර. මේවා දැනගෙන තමයි ගීතමය ජවනිකාව නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් අපේ රටේ තියෙන්නේ මොකද්ද? නළු නිළියන්ට දෙබස් පවා දෙන්නේ එස්. එම්. එස්. මාර්ගයෙන්ලු. ඒක මොනතරම් පිරිහීමක් ද?
* රූපවාහිනි මාධ්‍යයේ වර්තමාන තත්ත්වය මොකද්ද?
රූපවාහිනිය හැම විටම වගේ පවතින දේශපාලන අධිපති මතවාදය (හෙජමොනිය) ප්‍රකාශ කරන මාධ්‍යයක්. එතැන ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ප්‍රවෘත්තිවල දෘෂ්ටිකෝණය, සාකච්ඡාවලට කැඳවන පුද්ගලයන්ගේ පක්ෂපාතිත්වය යනාදි සියල්ල තීන්දු කරන්නේ මේ අධිපති මතවාදය ඉදිරිපත් කරන්නයි. දේශපාලනයේදී මෙන්ම මාධ්‍යකරණයේදිත් ප්‍රජාතන්ත්‍රවාදය ස්පුට කරන්න පුළුවන් වෙන්නේ දේශපාලනය, මාධ්‍යය හා ජනතාව අතර සිදුවන සන්නිවේදනය නිරවුල්ව හා අර්ථවත්ව සිදුවුණොත් විතරයි. ‘සන්නිවේදනයේ ගැටලු’ පිළිබඳ අධ්‍යයනයක් කිරීම සඳහා 1978 දී යුනෙස්කෝව මඟින් පිහිටුවූ සීන් මැක්බ්‍රයිඩ් කොමිසම පළ කරපු වාර්තාව කියෙව්වොත් මේ ගැන හුඟක් දේවල් ඔබට දැනගන්න පුළුවන්.
* රූපවාහිනිය ඉදිරියේ ප්‍රේක්ෂකයා නිශ්ක්‍රීය චරිතයක්?
ප්‍රේක්ෂකයන්ගේ භෞතික, මානසික හා සමාජ ගති පැවතුම් අතික්‍රමණය කිරීමේ පූර්ණ බලය නාළිකා විසින් හිමිකර ගනු ලැබ තිබෙනවා. ප්‍රේක්ෂකයාට කිසියම් බලපෑමක් කරන්න පුළුළුන් වෙන්නේ මහජන නාළිකා (PUBLIC CHANNEL) වලට විතරයි. මොකද ඔවුනුත් එහි කොටස්කරුවෝ. අපිට කළ හැක්කේ පෙන්වන දේ දිහා ඔහේ බලන් ඉන්න එකයි. කිසිවකුට එරෙහි වන්න අපිට නෛතික වශයෙන්වත් බලයක් නැහැ.
* වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් මොනව ද කියන්න පුළුවන්?
ලබන වසර වන විට වෙළෙඳ දැන්වීම්වල මුල් තැන ගන්නේ රූපවාහිනිය. ඒ වන විට දැනට තිබෙන ප්‍රචාරණ විධි ක්‍රම යල් පනින බව මාධ්‍ය විශේෂඥයකු වන මැතිව් ක්‍රෑමර් පෙන්වා දෙනවා. 2018 විතර වෙනකොට වෙළෙඳ දැන්වීම් නියත (ඉලක්කගත) ප්‍රේක්ෂකයා වෙත පුද්ගලානුබද්ධව සන්නිවේදනය වෙනවා. ඒක වෙන්නේ දත්ත සංඥාපක මුල් කරගත් අන්තර් ක්‍රියාකාරී තාක්ෂණ ක්‍රමවේදයක් මඟින්. මේ අනුව රූපවාහිනියේ සාම්ප්‍රදායික හා ආවේණික කළමනාකරණ ක්‍රමවේද, අලෙවි උපක්‍රම ආදිය ද වෙනස්කම්වලට භාජනය වෙනවා.
* අපේ රූපවාහිනි විකාශය තවමත් තියෙන්නේ PAL ඇනලොග් ක්‍රමයට. මේකත් දැන් කල් ඉකුත් වෙලා?
අපි තවමත් ඉන්නේ පටන් ගත්තු තැන. අපිට PAL ඇනලොග් සිස්ටම් එක හඳුන්වලා දුන්නේ ජපානය. ජපානය අද 4K සිස්ටම් එකට ගිහින්. මේ දෙක අතර විශාල තාක්ෂණික පරස්පරයක් තියෙනවා. අංකිතකරණයේදි (ඩිජිටල්) අපිට අනුගමනය කළ හැකි ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ජපන් ක්‍රමවේදය. අනික යුරෝපා ක්‍රමවේදය. විද්‍යාත්මකවම කතා කළොත් ජපානයේ තියෙන්නේ ISBD-T (ඉන්ටග්‍රේටඩ් සර්විසස් ඩිජිටල් බ්‍රෝඩ්කාස්ටින් ටෙරස්ට්‍රියල්) ක්‍රමවේදය. ඒක දැනට ලෝකයේ රටවල් 16 ත් 20 ත් අතර ප්‍රමාණයක පවත්වගෙන යනවා. යුරෝපයේ තියෙන්නේ DVB-T2 (ඩිජිටල් වීඩියෝ බ්‍රෝඩ්කාස්ටින් ටෙරස්ට්‍රියල් - 2) ක්‍රමවේදය. ඒක රටවල් 60 / 70 ක පවත්වගෙන යනවා. මම පෞද්ගලිකව හිතන්නේ යුරෝපීය ක්‍රමවේදය අපිට වඩාත් ඵලදායක කියලයි. PAL ඇනලොග් ක්‍රමය දැනට අවුරුදු 25 ක් 30 ක් තිස්සේ මේ රටේ පවතිනවනේ. ඒ වගේ ඉදිරි අවුරුදු 25 තුළ පවත්වගෙන යා හැකි නව ක්‍රමවේදයක් තමයි දැන් අපිට අවශ්‍ය.
* රූපවාහිනි තාක්ෂණය මෙසේ නවීන වෙනකොට සිනමා තාක්ෂණය කෙබඳු වේවි ද?
ඒකත් ඊට සමපාතව දියුණු වෙනවා. දැන් තියෙනවා ‘අයි මැක්ස්’ තාක්ෂණය. මි. මි. 35 වගේ දහ ගුණයක් විශාලව රූපය පෙනෙනවා. මි. මි. 70 වගේ තුන් ගුණයක් විශාලව පේනවා. විද්‍යාඥයෝ කියනවා, පියවි ඇහැට පේන රූපය ග්‍රහණය කරගන්න කිසිම තාක්ෂණයක් තවම හොයාගෙන නැහැ කියලා. මේ විදියට අලුත් අලුත් තාක්ෂණ ක්‍රමවේද සොයා ගන්න, සොයා ගන්න ඒ තැනට ළඟා වෙන්න බැරි වෙන එකක් නැහැ.
* අපිට තවමත් අති නවීන තාක්ෂණයකින් හෙබි ගෘහස්ථ චිත්‍රාගාරයක අඩුපාඩුව තියෙනවා?
ඔව්. රන්මිහිතැන්න එළිමහන් චිත්‍රාගාරයක්. ඒ වගේ චිත්‍රාගාරයක් අපේ රටට වුවමනා නැහැ. මං ඒ බව මෙම චිත්‍රාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් පැවති එක්තරා සාකච්ඡා වාරයකදි කියා සිටියා. එතැන ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වූ ඩබ්. බී. ගනේගල මහතාත් හිටියා. පැය කීපයකින් කන්ද උඩරට ගමකට, වියළි කලාපයේ ගමකට, මුහුදු වෙරළ ආශ්‍රිත ගමකට යන්න පහසුකම් තියෙන ලංකාව වගේ පුංචි රටකට මොකට ද එළිමහන් චිත්‍රාගාරයක්? එදා මං කියපු දේ කවුරුත් ගණන් ගත්තු බවක් පෙනුණේ නැහැ. මට ආරාධනා කළෙත් ඒ සාකච්ඡා වාරයට විතරයි. ඊට පස්සේ ආරාධනා කළේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ? අද එය පාඩු පිට පවත්වගෙන යන චිත්‍රාගාරයක්.
* ඔබ දැන් අවුරුදු කීපයක ඉඳන්ම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සැලසුම් කරනවා. ඒ සැලසුමට මොකද වුණේ?
තවමත් නිෂ්පාදකවරයකු මුණ ගැසුණේ නැහැ. සයිමන් නවගත්තේගමයි මමයි එකතුවෙලා ‘සංසාරණ්‍ය අසබඩ’ කියලා තිර නාටකයකුත් ලිව්වා. දැන් සයිමන් මියගිහිනුත් අවුරුදු 10 ක් වෙනවා. ඒ තිරනාටකය ඇසුරෙන් තමයි ඔහු ඒ නමින් පසුව නවකතා පොතකුත් ලිව්වේ. ඇත්තම කිව්වොත් මට නිෂ්පාදකවරුන් කීප දෙනෙක් මුණගැහුණා. ඒත් කවුරු හරි කියනවා මං ‘යූ. ඇන්. පී.’ කාරයා. මිනිහා එක්ක වැඩ කළොත් ප්‍රශ්න ඇතිවෙයි කියලා. ඉතිං ඒ යෝජනාව එහෙමම යට යනවා. පසුගිය කාලේ අපේ රටේ තිබුණේ ඉතිහාස කතා රැල්ලක්නේ. ඉන් බොහෝමයක්ම ඉතිහාසය විකෘති කරපු චිත්‍රපට. මේකට විරුද්ධව කිසිම බෞද්ධ භික්ෂුවක්, ඉතිහාස ආචාර්ය, මහාචාර්යවරයෙක් කට ඇරියේ නැහැ. ඔවුන් හිතන්න ඇති එහෙම විවේචනය කරලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නවට වඩා ආගම දහම, ඉතිහාසය විකෘති වුණාට කමක් නැහැ කියලා.
* ඔබ කෙටිකතාකරණයට යොමු වුණේ සිනමාවෙන් කියාගන්න බැරිවුණු දේ එමඟින්වත් ප්‍රකාශ කරන්න ද?
එක අතකට ‘ඔව්’ කියලා කියන්න පුළුවන්. මගේ පරිකල්පනය මෙහෙයවෙන්නේ රූපයෙන්ම තමයි. තිරනාටකයක් ලියද්දි වුණත් සිද්ධ වෙන්නේ ඒ රූපමය සංකල්ප වචනවලට පෙරළීමක්. සිනමාවේදී ඒක යළි රූපයට නැංවෙනවා.
\සිනමානුරූපීව මැවෙන රූප සිනමාකරුවකුට තරම් අපුර්වත්වයකින් සාහිත්‍යකරුවකුට මැවේයැයි මා සිතන්නේ නැහැ. සිනමාකරුවන්ගේ සංකල්ප රූප හුඟක් ප්‍රබලයි. අනික මගේ කෙටිකතා සාම්ප්‍රදායික කෙටිකතා නෙමෙයි. ඒවා යථාර්ථයට එහා ගිය කෙටිකතා.
No comments:
Post a Comment