Pages

Friday 20 February 2015

සොබාදහම ගවේෂණයට තෝතැන්නක් වූ යගිරල වනපෙතේ පරිසර තක්සලාව

ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවල් හා සැසඳීමේ දී අතිශය පෘථුල ෙජෙව විවිධත්වයකට හිමිකම් කියන රටක් බව නොකිවමනාය. නමුත් එම ෙජෙව උරුමයන් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කර තැබිම හා තිරසාර අයුරින් පරිභෝජනය කිරීමට අප සතු උනන්දුව දුර්වලය. ලෝකයේ ෙජෙව විවිධත්ව උණුසුම් කේන්ද්‍රයක් වශයෙන් ද ශ්‍රී ලංකාව නම්කර ඇත්තේ අපේ රටේ ඇති අග්‍රගණ්‍ය සොබා උරුමයන් රැස නිසාය. අප නිද්‍රාශීලීව පසුවෙද්දී මෙරට වනජීවී හා වෘක්ෂලතා සම්පත් දිනෙන් දිනම මිහිමතින්  තුරන්ව යමින් පවතී. එනිසා දේශීය දැනුම හා කුසලතාව යාවත්කාලීන කර ගනිමින් මෙරට ස්වාභාවික සම්පත් සංරක්ෂණය හා තිරසාර භාවිතය වෙනුවෙන් පෙළගැසීමේ කාලීන අවශ්‍යතාවක් පවතී. ඒ සඳහා මග කිවහැකි, අගනුවරටද ඉතා ආසන්න අපූරු අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස සොබාදහම ගවේෂණයට තෝතැන්නක් වූ යගිරල වනපෙතේ පරිසර තක්සලාව හැඳින්විය හැක.
යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතනය පිළිබඳ මූලික වස්තු බිජය හටගන්නේ වර්ෂ 1984 තරම් ඈත අතීතයේදීය. ඒ එම වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුව මගින් යගිරල වනාන්තරයේ අක්කර සියයක පමණ කොටසක් අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා යොදා ගනිමින් පවත්වාගෙන යාම ආරම්භ කිරීමත් සමගය. දැනට ශ්‍රී ලංකාව තුළ විශ්ව විද්‍යාලයක් මගින් අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා තම භාරකාරීත්වය යටතේ පවත්වාගෙන යන මුල්ම හා එකම වනාන්තරය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කළමනාකරණය වන මෙම යගිරල වනපෙතයි. ඉන් පසු මෙම වනපෙත කේන්ද්‍ර කරගනිමින් සංරක්ෂණ, පර්යේෂණ, අධ්‍යාපන හා පාරිසරික සංචාරක කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තිරසාරත්වය උදෙසා කේන්ද්‍රය හා යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතනය ජයවර්ධනපුර සරසවියේ මගපෙන්වීම යටතේ ආරම්භ විය.
දිවයිනේ අගනුවර සිටද පහසුවෙන් ළඟාවිය හැකි ආකාරයෙන් ස්ථාපනය වී ඇති යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතනය පිහිටා ඇත්තේ කොළඹට කිලෝමීටර් අනූවක් පමණ දුරින් කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රාදේශීය ‍ලේකම් බල ප්‍රදේශය තුළය. කොළඹ සිට හොරණ, මතුගම නගර ඔස්සේ හෝ කළුතර, බේරුවල ,දර්ගා නගරය ඔස්සේ මේ වෙත ළඟා විය හැක. ඝර්ම කලාපයට අයත් පහතරට තෙත් සදාහරිත වනාන්තරයක තුරු‍ලේ හිඳිමින් එහි නිහඬ නිස්කලංක හා සාමකාමී වටපිටාව අත්විඳින්නටත් පරිසර සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා ගැනීමටත් යගිරල වනපෙතේ මෙම පරිසර තක්සලාව තෝතැන්නක් බව අවධාරණය කළ යුතුය.
සමස්ත වපසරිය හෙක්ටයාර් 2004.9ක් වන යගිරල වනාන්තරය වන සංරක්ෂණ දෙපාර්තමේනතුව යටතේ පරිපාලනය වන අතර සිංහරාජයට දකුණින් පිහිටා ඇති දැනට ශේෂව පවතින අතිශය ෙජෙව විවිධත්වයෙන් පරිපූර්ණ පහතරට තෙත් කලාපීය සදාහරිත වනාන්තර අතලොස්ස අතරින් එකකි. කාණ්ඩ හැට දෙකකට හා ගණ 120කට අයත් ශාක විශේෂ 152ක් මෙම වනාන්තරයෙන් හමුවේ. තවද යගිරල වනපෙතේ සිදුකර ඇති ෙජෙව විවිධත්ව අධ්‍යයනයන්ට අනුව එහි ක්ෂීරපායී විශේෂ 36ක්, උරග විශේෂ 19ක් හා උභයජීවී විශේෂ 10ක් මෙම වනාන්තරය නිවහන කරගනිමින්  ජීවත්වන බව අනාවරණය කරගෙන ඇත. එයින් ක්ෂීරපායී විශේෂ 4ක් දිවයිනට ආවේණික බව තහවුරු කරගෙන තිබේ. යගිරල වනරක්ෂිතයේ ජීවනාලිය වශයෙන් හැඳින්විය හැකි ඇතා වැටුණු වළ නමින් හැඳින්වෙන දර්ශනීය දොළ පහර ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ රැසකගෙන්ද සමන්විත වේ. මෙම වනාන්තරය තුළින් ගලන දිය පහරවල්වලින් මේ දක්වා වාර්තා වී ඇති මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 22ක් පමණ වේ.
එසේම පක්ෂීන් නිරීක්ෂණයටද කදිම තෝතැන්නක් වන මෙම වන පියසේ මෑතකදී කරන ලද අධ්‍යයනයන්ට අනුව වාර්තා වී ඇති  පක්ෂි විශේෂ ගණන 94කි. ඒ අතුරින් 11 ක් ශ්‍රී ලංකාවට ආවේණික වන අතර 12ක් තර්ජනයට ලක්වූ විශේෂ වීම මෙම අගනා සොබා උරුමය රැක ගැනීමේ අවශ්‍යතාව මොනවට කියා පායි.
රක්ෂිතයේ ඉහළ කඳු පන්තියකින් ආරම්භ වී සිහින් දිය දහරාවක් ලෙස පහළට බසින මේ ඇතා වැටුණු දොළ වනපෙත මධ්‍යයේදී විශාල දොළ පහරක් බවට පත්වේ. පසුව මෙම දොළපහර උඩුගම දෙසට ගලා බසින අතර එහි නැවතුම සිදුවන්නේ බෙන්තර ගඟට එක්වීමෙන් අනතුරුවය. තවත් අපා දෙපා සිවුපා විහඟ ඈ සත්ව විශේෂ රැසකගේද නිජබිම වන යගිරල සංරක්ෂිත වනාන්තරයේ කටුකිතුලාන හා පෙමරගල වශයෙන් ගිරි හිස් දෙකකි. මෙම ඇතා වැටුණු වළ පිළිබඳ විමසන පුරාවෘත්ත වලට අනුව අතීතයේ දී මෙම වනාන්තරය අලි ඇතුන්ටද වාසභූමි සපයා ඇති අතර එසේ  ජීවත්වූ ඇතෙකු වරක් මෙම දිය දහරේ තිබූ ස්වාභාවික ගල් වළකට වැටීම නිසා මෙම දොළ පහර ඇතා වැටුණු වළ ලෙස හඳුන්වන බව කියති. මෙවැනි සොබාදහමේ  අපූර්ව නිර්මාණයක් බඳු යගිරල වන පෙත සෙවණේ හිඳිමින් වන හා පරිසර විද්‍යාවන් හැදෑරීමට ලැබේ නම් එය සැබෑ ලෙසම අසිරිමත් සිදුවීමක් බව නොකිවමනාය.
නමුත් සොබා සුන්දරත්වයෙන් අනූන වූ මෙම සුන්දර වන පියසට මිනිස් ක්‍රියාකාරකම්  නිසා ඇතිවී ඇති තර්ජන ද සුළුපටු නොවන බව කනගාටුවෙන් නමුත් ප්‍රකාශ කළ යුතුය. ඒවායින් කීපයක් පහත පරිදි දැක්විය හැකිය. වනාන්තර මායිමේ ඇති ඉඩම් අනවසරයෙන්  එළිපෙහෙළි කර ඒවා වගා බිම් බවට පත් කරගෙන තේ වැනි වැවිලි භෝග වගා කිරීම ප්‍රබල තර්ජනයක් බවට පත්ව ඇත. අක්‍රමවත්  ලෙස මහා පරිමාණයෙන් වනාන්තරය තුළින් දැවමය නොවන වනජ ද්‍රව්‍ය (වෙනිවැල්, වේවැල්, දුම්මල වැනි) රැස් කිරීම, වල්ලාපට්ට ශාකයේ ඇතිවන රෙසිනවලට මෑතක සිට ඇති වූ දැඩි ඉල්ලුම හමුවේ වනාන්තරය තුළ ඇති වල්ලාපට්ට ශාක කැපීම, දැව ජාවාරම්කරුවන්ගෙන් ආර්ථික වටිනාකමක් ඇති ශාකවලට ඇතිවී ඇති තර්ජන, සතුන් මස් පිණිස දඩයම් කිරීම හා සතුන් හා සත්ව කොටස් ජාවාරම (කබල්ලෑවන්, උරගයින් වැනි), කැළි කසළ හා අපද්‍රව්‍ය (‍පොලිතීන්, ප්ලාස්ටික් වැනි) වනාන්තරය මායිමේ බැහැර කිරීම ආදී විනාශකාරී තත්ත්වයන්ද මෙම වනපෙතේ ෙජෙව උරුමයන් වනසා දමමින්  සිටීමද ශෝචනීයය.
දැනට යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතන මගින් මෙම වනාන්තරය තුළ සිදු කෙරෙන අධ්‍යාපනික කටයුතු බොහෝය. විද්‍යාර්ථීන්, පාසල් සිසුන් හා සෙසු ‍පොදු ජනතාව තුළ පරිසරය පිළිබඳ දැනුම හා සංකල්ප වැඩි දියුණු කිරීම සඳහා මෙමගින්  සිදුවන මෙහෙය අති විශාලය. අධ්‍යාපනික හා දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් මෙම සුන්දර වනපෙතේ වැදගත්කම ජනතාවට අවබෝධ කර එතුළින් මෙම වනාන්තරයට ඇතිවී ඇති තර්ජන වළකාගෙන, මතු පරපුර උදෙසා මෙම වනාන්තරය සංරක්ෂණය කිරීම මෙහිදී මූලිකව සිදුවනු ඇත. පාරිසරික ව්‍යාප්ති හා ජනවිහිදුම්කරණ වැඩසටහන්, තිරසාර සංචාරක සේවා සැලසුම්කරණය, සංවර්ධනය හා ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩසටහන්, පරිසර උපදේශනය පිළිබඳ වැඩසටහන්, පරිසර සංචාරක වෘත්තීය පුහුණු හා ධාරිතා ප්‍රවර්ධන වැඩසටහන් ආදී ව්‍යාපෘති රැසක් ද මේ තුළ ක්‍රියාත්මක වේ. එමගින් බිහි කෙරෙන මානව සම්පත් අද දවසේ මෙන්ම හෙට දවසේද මෙරට මෙන්ම ලෝකය පුරා වනාන්තර, වනජීවීන්  හා සෙසු ස්වාභාවික සම්පත් සංරක්ෂණය හා කළමනාකරණය තුළින් මිහි තලයේ  අනාගත පැවැත්ම ස්ථාවර කර ගැනීම සඳහා දක්වන දායකත්වය අපේ රටටද ආඩම්බරයක් බව කිව යුතුය. එබැවින් මෙම ආයතන දීර්ඝකාලීනව පවත්වාගෙන යාම සඳහා අනලස්ව ක්‍රියාකිරීම බලධාරීන්ගේ යුතුකම හා වගකීම බවද අවධාරණය කළ යුතුය. යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතනය පිළිබඳ වැඩි විස්තර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන සහ පරිසර අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතාගෙන් ලබාගත හැක.

No comments: