Pages

Tuesday 3 March 2015

"දනේෂ මදුරංග එදිරිසූරිය"


මේ පොටෝ එකේ ඉන්න මිතුරා facebook එන, වර්ථමාණයේ බොහෝදෙනා දන්න කෙනෙක් ඔහු නමින් "දනේෂ මදුරංග එදිරිසූරිය" ඔහු බොහෝ පින්කම් facebook මිතුර මිතුරියන් එකතුකරගෙන සිදුකරනවා.

බලන්න මේ පොටෝඑක ඇතැම් කෙනෙක් මේ අම්මා ලගට උපස්ථාන කරන්න තියා නිකම්වත් ලන්වෙන්න කැමතිවෙන්නේ කීයෙන් කීදෙනාද..? බොහෝ අයට එහෙම දෙයක් කරන්න අමාරුයි. ඔහු කරන්නේ සාමාන්‍ය තරුණයෙක් නොකරන දෙයක්. මේ ඡායාරූපය ධනේෂ මීට ටික කාලෙකට කලින් ගත්ත එකක්, අද වෙද්දි ඔහුගේ profile පින්තුරය විදිහට ඔහු ඒක යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ ඔහුටත් මේ අවස්ථාව තදින් සිතට සංවේදී මතකයක් උනා කියන එකයි.

මිතුර ඔබ සිදුකරන පින්කම් පිළිබදව අපට නිතර පින්පොතෙහි සටහනක් තැබීමට නොහැකි උනත් අවස්ථාව ලැබෙන විදිහට සිදුකරන්නේ ඉතාම සතුටින්. මේ පින්කමත් ඔබ රටේ විවිද ස්ථානවල සිදුකරන පින්කම්, පින් පොතෙහි අපි සතුටින් අනුමෝදන් වෙනවා..!

ඒවගේම ඉදිරියටත් නොයෙක් පින්කම් කරගන්නට ඔබට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා.!

සාදු සාදු සාදු..!!

පියවි ඇස රවටන ස්වභාව ධර්මයේ අපූරු සිදුවීමක් කැමරාවක සටහන් වූ අයුරු



මේ ඡායාරූපයෙන් දැක්වෙන සිද්ධිය හරහා සතුන් අතර පවතින අපූරු මිත්‍රත්වයක් සම්බන්ධයෙන් ඔබ මහත් සතුටට පත්වනවා වන්නට පුළුවන.

කොළ පැහැති කොට්ටෝරුවෙකු විසින් මුගටි පැටවෙක් රැගෙන පියාඹා යන සංවේදී දර්ශනයෙන් ඔබ කුල්මත් වනවා වන්නට හැකි ය.

එහෙත්, ඔබගේ නිගමන සම්පූර්ණයෙන් වැරදි ය.

මේ මිත්‍රත්වයක් නොවේ. අහිංසක කොට්ටෝරුවෙකු, මුගටියෙකුගේ ග්‍රහණයෙන් මිදී දිවි ගලවා ගැනීම සඳහා කරන අරගලයකි.

මාර්ටින් ලී මේ නමැති එංගලන්ත ජාතිකයෙකු නැගෙනහිර ලන්ඩනයේ පිහිටි Hornchurch Country Park නමැති උද්‍යානයේදී මෙම ඡායාරූපය ගෙන තිබේ.

විනෝදාංශයක් ලෙස ඡායාරූප ගැනීමෙහි නිරත ඔහු පවසන්නේ, සිය බිරිඳ සමග අදාළ උද්‍යානයේ සිටියදී කොළ පැහැති කොට්ටෝරුවෙකු පියාඹා ගෙන පැමිණි බව ය.

එවැනි කොට්ටෝරුවෙකු තමන් ඉන් පෙර දැක නොතිබූ හෙයින් වහා ඡායාරූපයක් ලබා ගත් බව ඔහු පවසයි.

කෙසේ වෙතත්, අදාළ කොට්ටෝරුවා කෑ ගසමින් වේගයෙන් පියාඹා ගෙන පැමිණි බව ඡායාරූපය ගැනීමෙන් පසුව ඔහුට වැටහී ඇත.

ඉන්පසු එම කොට්ටෝරුවා ආහාරයට ගැනීම සඳහා මුගටි පැටවෙකු උගේ බෙල්ලෙහි එල්ලී සිටින බව මාර්ටින් ලී මේ දැක තිබේ.

එය දුටු වහා ම තමන් කොට්ටෝරුවා බේරා ගැනීම සඳහා ඉදිරියට යන අතරතුර මුගටියා බියට පත්වූ හෙයින් කොට්ටෝරුවා ග්‍රහණයෙන් මිදුණු බව මාර්ටින් ලී මේ පවසයි.

ඒ අතරවාරයේ කොට්ටෝරුවා වහා ඉගිළ ගොස් සිය ජීවිතය බේරා ගෙන ඇත.

පාරිසරික ජනමාධ්‍යවේදීන්ගේ හෙට දවසේ අවශ්‍යතාව





ශ‍්‍රී ලංකාව පාරිසරික විවිධත්වය සහ පාරිසරික පරිභෝජනය තුළ ඉතා ඉහළ අගයක් ගනී. දකුණු ආසියාතික රටකට ආවේණික වූ පාරිසරික ව්‍යාප්තිය සෑම බිම් අඟලක් පුරාවට ම පැතිර පවතින රටක් ලෙස ශ‍්‍රී ලංකාව හැඳින්විය හැකි වුවද මෙහි පවතින විශේෂත්වය වන්නේ, අන් ආසියානු රටවල්වලට සාපේක්ෂව සුවිශේෂී අන්‍යතා රැසකින් මෙරට පාරිසරික පද්ධතිය පැවතීමයි. අප ජීවත්වන වටපිටාව පරිසරය ලෙස සරලව ම හැඳින්විය හැක. නමුත් මෙම සරල අර්ථකථනයට එහා දිව ගිය ඉතා ගැඹුරු අර්ථයක් එකී මාතෘකාව විෂයෙහිලා පවතී.



පරිසරය හා එකනෙකට දිවයන බුද්ධිමත් ම සත්ත්ව කොට්ඨාසය මිනිසා ලෙස හඳුනාගත හැකිය. සතුන්ට සාපේක්ෂව අප වටා පවතින පාරිසරික විවිධත්වය අප විසින් පරිභෝජනය කිරීම ඉතා ඉහළය. මිනිසා මෙම පාරිසරික පද්ධතිය අවබෝධයකින් තොරව ද පරිභෝජනය කිරීම ද ඉතා ඉහළ අගයක පවතී. මෙම පාරිසරික පද්ධතිය අවබෝධයන් ගෙන් තොර ව පරිභෝජනය කිරීම නිසා නූතනයේ ඇති ව තිබෙන පාරිසරික උවදුරු විෂයෙහි ලා මහත් බලපෑමක් සිදු කොට තිබේ. දෛනික පරිභෝජන රටාවට පමණක් පරිසරය වෙතින් අදාළ දෑ උකහාගනු ලබන මිනිසා පරිසරය සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර වෙනුවෙන් දක්වනු ලබන්නේ ඉතා අල්ප වූ ප‍්‍රතිචාරයකි.



ග‍්‍රීක භාෂාවෙන් පරිසරය ඔයිකස් ලෙස හඳුන්වයි. තමන් ජීවත් වන වටපිටාව සහ ඒ සමඟ දක්වන අන්තර් සබඳතාව මෙහි සරල ම අර්ථයයි. මෙහි පවතින විද්‍යාත්මක ඉඩහසර අති විශාල වන අතර විද්‍යාත්මක හේතු ඵලවාදයන් පාරිසරික තත්ත්වය හා ගැටී පවතී. ජලය, වාතය, හිරුඑළිය, ගහකොළ, සතා සිව්පාවුන්, ගේ දොර, සමුද්‍රය මෙකී සියල්ල ම අප දෛනික ව ජීවිතය තුළ තදබල ලෙස ඇසුරු කරනු ලබන පාරිසරික සාධකයි. මෙබ සාධක විෂයෙහිලා පවතින ජීව විද්‍යාත්මක සහ භෞතික විද්‍යාත්මක පදනම ප‍්‍රජාව විෂයෙහිලා ලබා දිය යුතු සරල අවබෝධයක් පැවැතීම අනිවාර්යය වෙයි.



පාරිසරික ජනමාධ්‍යවේදයේ (Environmental journalism) අවශ්‍යතාව ඉස්මතු වන්නේ මෙකී කරුණු කාරණා හේතුවෙනි. ජනමාධ්‍යාවේදියා යනු තොරතුරු සහ සිදුවීම් මාධ්‍ය වෙත සමීප කරවීම සහ එම තොරතුරු මඟින් සමාජයට අවශ්‍ය දැනුවත්භාවය සැලසීම යන විෂය පිළිබඳ ව හැදෑරීම සිදු කරන පුද්ගලයායි. එය විෂයයක් ලෙස භාවිතය හා අවබෝධය යන කරුණු මත ලබන ක්ෂේත‍්‍රගත වෘත්තීයකි. මෙම වෘත්තීය විවිධ විෂයයන්ට සමගාමීව එකිනෙකට වෙනස් වුවද ඔවුන් සියලු දෙනාගේ ම කාර්යභාරය තොරතුරු සහ සිදුවීම් ප‍්‍රවෘත්තිගත කිරීමයි. පරිසරය යන විෂය සමගාමීව ද මෙවැනි ම වූ වෘත්තියක් ක‍්‍රියාත්මක වේ. ලංකාව තුළ මෙම වෘත්තීය තවදුරටත් නව වෘත්තීය ස්වභාවයක් වුව ද යුරෝපය සහ අප‍්‍රිකානු රටවල මෙම වෘත්තීය වඩාත් ජනප‍්‍රිය මෙන් ම ජනතාව සහ මාධ්‍ය විෂයෙහිලා සහ සම්බන්ධතා ගොඩනගනු ලබන විෂය ක්ෂේත‍්‍රයක් බවට පත් වී හමාරය.

පාරිසරික ජනමාධ්‍ය, පාරිසරික ගවේෂණය යන ක්ෂේත‍්‍රයෙන් බිඳී ආවකි. ගවේෂණය යන ක්ෂේත‍්‍රය දැනට ශතවර්ෂ කිහිපයක සිට ලොව පුරා සිදු වූ ජනප‍්‍රිය විනෝද මාධ්‍යයක් විය. දේශගවේෂක ක‍්‍රිස්ටෝපර් කොලොම්බස් (Christopher Columbus) රැල්ෆ් වැල්ඩෝ එමර්සර් (Ralph Waldo Emerson) හෙන්රි ඩේව්ඩ් තෝරිව් (Henry David Thoreaw) යනාදීන් 19 වන ශත වර්ෂයේ සහ ජෝන් බරෝ (John Burrough) සහ ජෝන් මූයිර් (John Muir) 20 වන ශත වර්ෂයේත් මෙම ගවේෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් වූ අතර චාල්ස් ඩාවින් වැනි ප‍්‍රමුඛයන් ද මෙම ක්ෂේත‍්‍රයේ කැපී පෙනේ. මොවුන් සිය ගවේෂණයට අමතරව සිදුකළ සුවිශේෂී ම ක‍්‍රියාවලිය වූයේ සිය ගවේෂණ දත්ත සටහන් කර තැබීමයි.



එම දත්ත පසු කලෙක පුවත්පත් මාධ්‍ය විෂයෙහි ලා සමාජගත කිරීමට අවශ්‍ය පසුබිම පවා නිර්මාණය වූ අතර ප‍්‍රජාව විෂයෙහිලා මෙම ප‍්‍රවෘත්තීන් වඩාත් ජනප‍්‍රිය වූ අතර වැඩි අවධානයක් දිනා ගැනීමට සමත් විය. පාරිසරික ජනමාධ්‍ය විෂය, විෂයයක් ලෙස හැඩගැසීම 1960 දශකයෙන් පසු සිදු විය. මේ හා සමගාමීව පාරිසරික සන්නිවේදන විෂය ආරම්භ වී පැවති අතර පාරිසරික සන්නිවේදනයේ ම තවත් එක් කාණ්ඩයක් ලෙස මෙම පාරිසරික ජනමාධ්‍යවේදය සමාජගත විය. යුරෝපය ආශ‍්‍රිත ව ගොඩනැගී පවතින කාර්මික පරිසරය නිසා පාරිසරික ප‍්‍රවණතා මොහොතින් මොහොත අභියෝගයට ලක් විය. මේ නිසා මිනිසා වටා පවතින යහදායක පරිසරය අවපැහැයට වෙනස් වූ අතර මේ පිළිබඳ ජනමාධ්‍ය විසින් නිතර දෙවේලේ මිනිස් ප‍්‍රජාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව පැන නැගිණි. මිනිසාගේ ක‍්‍රියාවලීන් හි පවතින ප‍්‍රතිපෝෂණය ලෙස මෙම පාරිසරික සමතුලිතතාව බිඳවැටීම ආරම්භ වූ අතර එය මිනිසා විසින් ම අවම කරගත යුතු බවට තීරණය විය. එහි අවසානය වූයේ පාරිසරික ජනමාධ්‍යාව්දීන් වඩාත් වේගයෙන් සමාජගත වීමයි.


ඒ අනුව 1966 සිට පාරිසරික න්‍යායපත‍්‍ර හඳුන්වා දීම සිදුවිය. පාරිසරික නීති (Environmental Policy) පාරිසරික ආචාර ධර්ම (Environmental Ethics) ආදිය සමාජගත විය. පරිසරය විෂයෙහි ලා සිදුවන විවිධ හානිදායක තත්ත්වයන් මෙම මාධ්‍යවේදීන් විසින් හඳුනාගන්නා ලද අතර ඔවුන් විසින් ඒවාට අවශ්‍ය දැනුවත්භාවය පුවත්පත් මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කරන්නට විය. එසේම එම හානිදායක පාරිසරික පද්ධති සුරැකීමට අවශ්‍ය නීති රෙගුලාසි සැකසීමට පවතින රජයට බල කිරීම ද සිදු විය. මේ නිසා මෙම පාරිසරික ජනමාධ්‍යවේදීන් ප‍්‍රධාන මාධ්‍ය වෘත්තිකයන් ලෙස සමාජගත විය. ඔවුන් යුරෝපය සහ අප‍්‍රිකාව පුරා වේගයෙන් ව්‍යාප්ත විය. ඒ අනුව 1990 වසරේ පාරිසරික ජනමාධ්‍යවේදීන්ගේ සමාජ කවය (Society of Environmental Journalists) බිහි විය. ඔවුන්ගේ ප‍්‍රධාන මෙහෙයවන්නේ පාරිසරික වාර්තාකරණය මඟින් මහජනතාව දැනුවත් කිරීමත්, ඒ සම්බන්ධ ව නිවැරදි මාර්ගය පෙන්වා දීමත් ය. නූතනය වන විට මෙම සමාජ ක‍්‍රමය විසින් මෙහෙයවනු ලබන අධ්‍යයයන ආයතන ලොව පුරා ක‍්‍රියාත්මක වන අතර ඊට සමගාමීව පාරිසරික ජනමාධ්‍යවේදීහු ද ක‍්‍රියාකාරී මට්ටමක සිටිති.



පාරිසරික ජනමාධ්‍යවේදය ලංකාව වැනි පාරිසරික විවිධත්වයක් තුළට ඉතා අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නො වේ. පාරිසරික සන්නිවේදන විධික‍්‍රම හමුවේ පාරිසරික සුරක්ෂිතතාව සමාජගත කළ යුතු අතර පාරිසරික ව සිදුවන අවගමනය පිළිබඳ ව මාධ්‍ය දැනුවත් කිරීම ද සිදුවිය යුතුය. ශ‍්‍රී ලංකාව තුළ පවතින පාරිසරික විවිධත්වය වාර්තාගත කිරීමත් ඒවාට අවශ්‍ය මාධ්‍ය අවධානය ලබා දීමත්, එමඟින් ජනතාව දැනුවත් කිරීමත් මේ යටතේ සරලව ම අවබෝධ කරගත හැකි කි‍්‍රයාදාමයයි. පරිසරික ජනමාධ්‍යවේදය තුළ දී පරිසරික විධික‍්‍රම, විෂය රටා වෙනස් වීම් සහ ජෛව විද්‍යාව සහ භෞතික විද්‍යාව පිළිබඳ ව ද දළ වශයෙන් අවබෝධයක් පැවතීම මෙම විෂයට සමගාමී ව ප‍්‍රගුණ කළ යුතුය.

ලංකාව තුළ පවතින සුවිශේෂී පාරිසරික තත්ත්වය මූලිකව ම හැදෑරිය යුතුය. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන බහුලව ම මෙරට පවතී. අමාත්‍යංශ මට්ටමේ සිට ශාඛා සමිති දක්වා වූ පෙළ ගැසීමක මෙම ආයතන පවතී. මෙම ආයතන තුළ පවතින ප‍්‍රතිපත්ති ආචාරධර්ම රීතිගත කරුණු ආදිය සරල සැකැස්මක් යටතේ අවබෝධයේ පැවතිය යුතුය. එසේම ඒ සඳහා අවශ්‍ය උපදේශකත්වය පාරිසරික සහ ස්වභාවික සම්පත් අමාත්‍යංශය, වනජීවි සම්පත් අමාත්‍යංශය, මධ්‍යම පරිසරික අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන මඟින් ලබා ගත හැක. ආයතනගතව පවතින නීති රෙගුලාසි සහ පාරිසරික වටිනාකමකින් යුත් පරිසර තත්වයන් පිළිබඳ ව මනා අවබෝධයක් පැවතීම මෙම විෂය සමගාමිව පවතින ශාස්ති‍්‍රය අධ්‍යනයයි.



අධ්‍යයනයකින් තොරව මෙම පාරිසරික ජනමාධ්‍යවේදය හැදැරීමට අවශ්‍ය පසුබිම සකසා ගත නොහැක. පාරිසරික ජනමාධ්‍යවේදය, ජාතික තලයේ සිට ප‍්‍රාදේශීය මට්ටම දක්වා ව්‍යාප්ත විය යුතුය. මේ සඳහා සැකසුණු මාධ්‍ය බලමුළුවක් පැවතීම ඉතා ප‍්‍රයෝජනවත්ය. මෙම වෘත්තිය පසුබිමින් අපේක්‍ෂිත අවසාන අරමුණු පාරිසරික සුරක්‍ෂිතතාව නම්, ඒ සඳහා අවශ්‍ය දිරිගැන්වීම රාජ්‍ය මට්ටමින් ලැබීම වඩාත් වැදගත් ය. නූතනයේ ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් ඉතා අතළොස්සක් පමණ ප‍්‍රාදේශීය ව පවතින පාරිසරික ගැටලු යම් ප‍්‍රමාණයකින් වාර්තාකරණය සිදුකරයි. එසේ වුවද මෙම ප‍්‍රවණතාව දැකිය හැක්කේ පුවත්පත් මාධ්‍ය තුළින් පමණි. විද්‍යුත් මාධ්‍ය මඟින් පාරිසරික දැනුවත්භාවය සහ එවැනි ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය වීම සිදුනොවන තරම්ය.



මූලිකව ම පාරිසරික ව ඇති වී තිබෙන යම් තත්ත්වයක් පාරිසරික ගැටලුවක් ද, යන්න පිළිබඳ ව අවබෝධ කරගත යුතුය. පසුව එමඟින් සිදුවන හානිය පිළිබඳ ව අධ්‍යයනයක නියැළිය යුතුය. පසුව මෙම ගැටලුව නිසා ප‍්‍රජාව සහ අන් පාරිසරික තත්වයන් විෂයෙහි ලා සිදුවන හානිය අවබෝධ කර ගත යුතුය. ඒ සම්බන්ධව ඡායාරූප, වීඩියෝ මාධ්‍ය, සහ විචාර, විවේචන ආදි දත්ත ඒකරාශී කර ගත යුතුය. මෙය එක්තරා ආකාරයකට ගවේෂණාත්මක පුවත් වාර්තාකරණයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. පසුගියදා මෙරට සිදු වූ රතුපස්වල ඛේදවාචකය, මීට කදිම උදාහරණයකි. දීර්ඝ කාලයක සිට සිදු වූ ජල හානිය සහ පසට එක්රැස් වූ රසායනික ද්‍රව්‍ය දෛනික ජීවිත තුළට මහත් බලපෑමක් කිරීමට සමත් විය. දෛනික ජීවිතය තුළ දී ප‍්‍රජාව විසින් දකින මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් සාමාන්‍ය යැයි සැලකුවද ඒ හා සම්බන්ධව ගවේෂණයක නියැළෙන්නෙකුට මෙම පුවත කදිම පාරිසරික පුවත් අනාවරණයක් වනු ඇත. එය අපට මෑතකදී හමු වූ එක් උදාහරණයක් පමණි. එවැනි ම වූ‍ සිද්ධීන් කිහිපයක් නීත්‍යනුකූල ලේබලය මත නීත්‍යනුකූල නොවන තත්වයක සිට සිදුවන බව අමතක කළ යුතු නො වේ. පාරිසරික ජනමාධ්‍ය වැනි විෂයයන් පිළිබඳ ව අධ්‍යයන ක්ෂේත‍්‍රයක් පැවතිය යුත්තේ මෙබැවිනි.



පාරිසරික ජනමාධ්‍ය වැනි විෂයයක් තුළ පවතින අධ්‍යයන ක්ෂේත‍්‍ර වඩාත් ගැඹුරු අර්ථයක් යටතේ පවතී. මතුපිටින් දකින පාරිසරික තත්ත්වයන්ට සාපේක්ෂව ඒ හා සමානව අභ්‍යන්තරිකව පවතින ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු කළ යුතුය. එවැනි දත්ත මාධ්‍ය විෂයෙහි ලා ප‍්‍රජාව අතරට සන්නිවේදනය විය යුතුය. ජාත්‍යන්තර ආයතන සහ රාජ්‍ය නොවන සංවිධානයන්හි පවතින නෛතික රෙගුලාසි පිළිබඳ ව නූතනයේ වඩාත් ප‍්‍රගුණ කළ යුතු පාරිසරික ආරක්ෂණ විධික‍්‍රම වෙයි. පාරිසරික වෙනස්වීම් අවබෝධය එය ස්වයං අධ්‍යයනයක් බවට පත් වෙයි. මෙම ක්ෂේත‍්‍ර අධ්‍යයනය තුළ විශේෂිත වූ ක්ෂේත‍්‍රයන් අධ්‍යයනයක් බවට පත් වෙයි. මෙම ක්ෂේත‍්‍ර අධ්‍යයනය තුළ විශේෂිත වූ ක්ෂේත‍්‍රයන් අධ්‍යයනයට අවශ්‍ය ඉඩ හසර සකසා ගත හැක. උදාහරණයක් ලෙස දේශගුණික වෙනස්කම් පිළිබඳ ව අධ්‍යයනයක නියැළෙන්නෙකුට මේ සම්බන්ධව පවතින ජාත්‍යයන්තර නීති, ආචාර ධර්ම, ජාතික රෙගුලාසි ආදිය පිළිබඳ ව අධ්‍යයනය කළ යුතුය. ඒ අනුව, එම තත්ත්වයන් මෙරට දේශගුණික පාර්ශවයන් වෙත ආරෝපණය කරලීමත්, හඳුනාගත් ගැටුම්කාරී තත්ත්වයන් වෙත විසඳුම් සෙවීමත් සිදුකළ හැක. මෙය විමර්ශනාත්මක මෙන් ම විද්‍යාත්මක අධ්‍යයන ක්ෂේත‍්‍රයන් දක්වා පුළුල් විය හැකිය.



1980 දශකයේ, ලෝකයේ දේශගුණික වෙනස්වීම් පිළිබඳ රාජ්‍ය මට්ටමෙන් සාකච්ඡාවට බඳුන් විය. 1988 දී පළමුවරට මෙම දේශගුණික වෙනස්කම් පිටුදැකීමට අන්තර්ජාතික අවධානය යොමු විය. ඒ අනුව මිහිමඬල උණුසුම් වීම (Global Warming) මොන්ටි‍්‍රයෙල් ප්‍රොටොකෝල් (Montreal Protocol) වැනි සම්මුතීන් වෙනුවෙන් අන්තර්ජාතික ප‍්‍රජාව දිරිගැන්වීම සිදුවිය. දේශගුණ වෙනස්වීම පිළිබඳ අන්තර් රාජ්‍ය සභාව (Inter Governmental Panel on Climate Change – IPCC) සමුළුව මෙහි එක් ප‍්‍රතිඵලයකි. පාරිසරික ජනමාධ්‍යවේදය තුළ මෙවැනි විෂය ධාරාවන් සුලබව දැකිය හැක්කේ යුරෝපය වැනි රටවල් ඇසුරෙනි. මෙවැනි ඉතා ඉහළ පාරිසරික ප‍්‍රවණතාවන් වෙනුවෙන් පාරිසරික ජනමාධ්‍යවේදය ලංකාව වැනි රටක ගොඩනැගීම තරමක අපහසු වුවද, මෙරට දේශගුණික ප‍්‍රවණතා වෙනුවෙන් මාධ්‍ය හරහා ප‍්‍රජාව දැනුවත් කිරීම වඩාත් සඵලදායි වේ. දේශගුණික වෙනස්කම් තුළට මෙරට මධ්‍යම පළාත බහුලව යොමු වේ. එමඟින් සිදුවන අලාභහානි සහ ඉන් සිදුවන පාරිසරික වෙනස් වීම් පිළිබඳ ව අධ්‍යයනය කිරීම යම් ප‍්‍රතිඵලදායී තත්ත්වයකි. මෙවැනි විෂයගත ක්ෂේත‍්‍රයක් වෙනුවෙන් පාරිසරික ජනමාධ්‍ය ප‍්‍රතිපත්ති සැකසිය යුතුය. ඒ අනුව ඒ ඒ මාධ්‍යයන් විෂයෙහි ලා පාරිසරික ජනමාධ්‍යවේදීන්ගේ අවශ්‍යතාව ඉස්මතු විය යුතුය. ප‍්‍රවෘත්ති වාර්තාකරණය තුළ පාරිසරික සුරක්ෂිතභාවය වෙනුවෙන් එක් ප‍්‍රවෘත්තියක් හෝ ප‍්‍රචාරය වීමට අවැසි වැඩපිළිවෙළක් ගොඩනගා ගත හැකි නම් මූලික ම අරමුණ වන පාරිසරික දැනුවත් කිරීම ප‍්‍රජාව විෂයෙහි ලා ජනප‍්‍රිය වෙයි. විද්‍යුත් රූපවාහිනි නාලිකා බිහිවීමට අවශ්‍ය මූලිකම පසුබිම මේ පාරිසරික ජනමාධ්‍යවේදයේ ම තවත් එක් පැතිකඩකි.



පාරිසරික ජනමාධ්‍යවේදය සහ ජනමාධ්‍යවේදීන් විෂයෙහිලා, මෙරට පවතින පාරිසරික සංවේදීතාව නිබඳ ව ම සිය වෘත්තියාභිමුඛ මූලාශ‍්‍ර වෙනුවෙන් තොරතුරු සපයයි. දේශගුණය, මුහුදු ඛාදනය, ජල විදුලි නිෂ්පාදනය, ආවේණික පාරිසරික හා සත්ත්ව කොටස්, හරිතාගාර වායු විමෝචනය, එමෙන්ම ගල් කැඩීම, වැලි ගොඩ දැමීම, ඒකදේශීය ශාඛ විනාශය, ජාන මංකොල්ලය, ආක‍්‍රමණික ශාඛ, අනවශ්‍ය පස් ගොඩ දැමීම, වගුරු බිම් ගොඩ කිරීම, කුඹුරු ඉඩම් ගොඩ කිරීම, රක්ෂිත ගිනි ලෑම, පිදුරු වැනි කාබනික පොහොර විනාශ කිරීම, සත්ත්ව දඩයම, කුණු කසළ සහ රසායනික අපද්‍රව්‍ය අක‍්‍රමවත්ව බැහැර කිරීම සහ පතල් මිනිරන් හෑරීම වැනි දෛනිකව අපට හමුවන ගැටලුකාරී පාරිසරික තත්ත්වයන් වෙත සමීපවීම පාරිසරික ජනමාධ්‍යවේදීන්ගේ විෂයගත පැතිකඩකි. ලංකාව වැනි ඉතා කුඩා දිවයිනක සිදුවන මෙම අසමතුලිත පාරිසරික සංහරණය යම් දිනයක පරම්පරාගතව සිදුවිය හැකි ඛේදනීය තත්ත්වයක් වනු නොඅනුමානය. මෙම තත්ත්වය වළක්වාලීම වෙනුවෙන් ප‍්‍රජාව වහ වහා දැනුවත් විය යුතුය.



පෘථිවියේ උණුසුම ඉහළයාමෙන් මුහුදු මට්ටම 21 වන සියවස වන විට තවදුරටත් ඉහළ යනු ඇත. ලෝකයේ මුළු ජන සංඛ්‍යාවෙන් 21‍% - 38% ප‍්‍රමාණයක් වෙරළ කි.මී. 30 - 100 අතර කලාපයන්හි ජීවත් වෙයි. වෙරළ ආශ‍්‍රිතව ගොඩ නැගී පවතින ආර්ථික සම්පාදන ක‍්‍රම විධි බොහොමයක් සිය ජාතික ආර්ථිකය තර කරයි. පාරිසරික හා දේශගුණික වෙනස්වීම නිසා සිදුවන මිහිතලය උණුසුම් වීමේ ප‍්‍රතිවිපාක ඔවුනට නුදුරු කාලය තුළ පොදුවේ භුක්ති විඳීමට සිදු වේ.



ශ‍්‍රී ලංකාවේ වෙරළ කලාපය පිළිබඳ ව කර ඇති අධ්‍යයයන ප‍්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතී. 1951 වර්ෂයේදී ඒක පුද්ගල වෙරළ මායිම සෙ.මී. 79ක් වුවද, එය 2031 වසර වන විට සෙ.මී. 07ක් බවට නිගමනය ලැබී තිබේ. දළ ජාතික නිෂ්පාදනයට 40‍%ක දායකත්වයක් වෙරළ කලාප ආශ‍්‍රිත ප‍්‍රජාව විසින් දක්වනු ලබති. මෙනිසා මෙවැනි පසුබිමක දී ඉහත අවධානය යොමු විය යුතු කාලසීමාව අද වන විට ඉස්මතු වී පවතී. මුහුදු වැලි ගොඩ දැමීම, කොරල් විනාශය, මීට ප‍්‍රධාන සාධක වෙයි. දෛනිකව සිදුවන මෙම පාරිසරික සංහරණය මාධ්‍යයන් තුළ වාර්තා නොවන තරම්ය. එමඟින් අදාළ නිලධාරීන් සහ සුරක්ෂිතභාවය ද සිදු නොවන තරම්ය.



කාර්මික වායු දූෂණය අද වන විට කොළඹ ආදී තදාසන්න නගර කේන්ද්‍ර කර ගනිමින් සීග‍්‍රයෙන් සිදු වෙයි. හරිත ආර්ථිකය (Green Economy) වැනි සංකල්ප වඩ වඩාත් දියුණු විය යුතුය. සංවර්ධනයට සාපේක්ෂව සිදුවන මේ පාරිසරික සංවර්ධනය තිරසාර සංවර්ධනයේම තවත් එක් භූමිකාවකි. ඕසෝන් වියන වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය කාලය ඉස්මතු වී පවතී. CFC (Chlorofluorocarbon) යන වායුව ක‍්‍රමානුකූලව පරිභෝජන රටාවෙන් ඈත් කළ යුතුය. මෙවැනි ක‍්‍රියාමාර්ග හඳුනා ගැනීමට තරම් දැනුම් ප‍්‍රමාණය ඇතැම් විටක නාගරික ප‍්‍රජාව විෂයෙහිලා ද, ඉතාම අවම මට්ටමක පවතී. මොන්ටි‍්‍රයෙල් සමුළුව (Montreal Protocol) 1987 වර්ෂයේ අත්සන් තැබෙනුයේ මේ වෙනුවෙනි. මෙවැනි ක‍්‍රියාමාර්ගවලට අවශ්‍ය පාරිභෝගික රටාව සැකැස්ම අද දිනයට නො ව හෙට දිනයේ රටේ මෙන් ම මුළු මහත් පෘතුවියේම පැවැත්මට අවශ්‍ය හිතකර ක‍්‍රියාමාර්ග වනු ඇත.



ශ‍්‍රී ලංකාව තුළ මෑත කාලීනව සිදුවන වන හරණය ඉතා ඉහළ අගයක් ගෙන ඇත. තවදුරටත් මේ තත්ත්වය ඉහළ ගියහොත් සිදු වනුයේ, ශ‍්‍රී ලංකාව වඩාත් උෂ්ණාධික රටක් බවට නොබෝ කලකින් පරිවර්තනය වීමයි. සංවර්ධනයේ සිදුවන ප‍්‍රතිලාභ අදටත්, හෙට දිනයටත් වඩා අනාගතයට සඵලදායී විය යුතුය. එවැනි අරමුණක් වෙනුවෙන් සිදු කරනු ලබන සංවර්ධනය මෙරට වන හරණය දැඩි ව ආරක්ෂා කළ යුතුය. සිදු කරනු ලබන අනවසර ඉදිකිරීම් හේතුවෙන් මෙරට ජෛව විවධත්වයට හානි සිදුවීම පසුගිය කාලසීමාව තුළ දිගින් දිගටම පුවත් මඟින් වාර්තා විය. අඛණ්ඩව සිදුවන මෙම මාධ්‍ය විමර්ශනය හෙට දිනයේ පාරිසරික පැවැත්මට වඩා යහදායි වනු ඇත. මේ වන විට 78%ක වන විනාශයක් ශී‍්‍ර ලංකාව තුළ සිදු වී හමාරය. ජල පෝෂක සිඳී යාම, වගුරු බිම් සිඳීයාම, ජෛව විද්‍යාත්මක පාරසරික හානිය, දේශගුණික වෙනස් වීම්, කාන්තාරිකරණය,ඩපස සෝදා යාම, ආදිය මෙම වන හරණයට සමගාමීව සිදුවන අතුරු ඵල විපාකයන්ය. මහා පරිමාණයෙන් සිදුවන වාණිජ වගාවන් සහ ඉඩම් කට්ටිකර වෙන් දේසි දැමීම අවධානයට යොමු වී නොමැති තරම්ය. ප‍්‍රාදේශීයව ගොඩනැගෙන පාරිසරක ජනමාධ්‍යවේදීන්ගේ අවශ්‍යතාව ඉස්මතු වන්නේ මෙවැනි බරපතළ ගැටලුවලට අවශ්‍ය ප‍්‍රචාරණය සහ බලධාරීන්ගේ අවධානය යොමුකරවා ගැනීමටයි. එමෙන්ම ප‍්‍රාදේශීයව ප‍්‍රජාව දැනුවත් කිරීම ද මේ හරහා සීග‍්‍රයෙන් සිදුවෙයි.



පාරිසරික ජමාධ්‍යවේදයේ ම තවත් එක් ජනප‍්‍රිය පැතිකඩකි වාර්තා චිත‍්‍රපට කලාව සහ ඡායාරූප ශිල්පය. වන ජීවි චිත‍්‍රපට (Wild life Documentary) සහ වන ජීවි ඡායාරූප (Wild life Photography) අදිය මෙම ජනප‍්‍රිය තේමාවට අදාළ මූලිකාංග වෙයි. පාරිසරික ආරක්ෂණ උපක‍්‍රම වෙනුවෙන් සැකසුණු වාර්තා චිත‍්‍රපට සහ සඟරා, වාර ප‍්‍රකාශන ජනතාගත කිරීම මෙම පාරිසරික ජනමාධ්‍යවේදයේම තවත් එක් පියවරකි. ප‍්‍රාදේශීය මට්ටමින් සැකසුණු පාරිසරික බලකායන් වෙනුවෙන් ලබාදෙන මාධ්‍ය අනුග‍්‍රහය වඩාත් පුළුල් විය යුතුය. කියුබාව වැනි රටවල් ඩෙංගු උවදුර සිය රටින් තුරන් කර දැමීම සඳහා මෙවැනි මාධ්‍ය මැදිහත්වීම් බහුලව යොදා ගන්නට වූහ.



එමෙන්ම ගවේෂණාත්මක පාරිසරික පුවත්පත් කලාව වෙනුවෙන් පුවත්පත් තුළින් ලබාදෙන ඉඩ හසර තවත් පුළුල් විය යුතුය. ඉතා අතළොස්සක් පුවත්පත් මෙම ජාතික මෙහෙය වෙනුවෙන් සිය ඉඩ කඩ නිර්ලෝභීව යොදා ගැනීම අගය කළ යුතුය. පාරිසරික ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ඇගයීම් උලෙළක් පිළිබඳ ව අසා නොමැති තරම්ය. නමුත් ඉන්දියාව වැනි රටවල් තුළ මෙම ක්ෂේත‍්‍රය සඳහා ඇගයීම් ඉතා ඉහළ තලයක පවතී. ඔවුන් සඳහා රාජ්‍ය මැදිහත් වීමෙන් සපයනු ලබන උපදේශන සේවා සහ පුස්තකාල පහසුකම් පුළුල් විය යුතු අතර මෙරට පාරිසරික කටයුතු වෙනුවෙන් පවතින අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මේ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු කාලය එළඹ තිබේ. ග‍්‍රාමීය ප‍්‍රජාව විෂයෙහිලා පාරිසරික දැනුවත්භාවය ඉතා අවම මට්ටමක පවතී. පරිසරයට සිදුවන අපයෝජනය හඳුනා ගැනීමට සහ ඒවා පිළිබඳ ව දැනුවත් කිරීමට අවශ්‍ය ක‍්‍රමවේද මේ යටතේ ගොඩනැංවීම රටේ හෙට දවසේ පාරිසරික සමතුලිතතාවය සුරක්ෂිත වීමට මහත් පිටුබලයක් වනු ඇත.



හෙට දවසේ වර්ධනය වන මානුෂීය අවශ්‍යතා වෙනුවෙන් පාරිසරක තත්ත්වය සැකසී ඇත. එසේ වුවද මෙම පාරිසරික තත්ත්වය මඟින් උකහා ගතයුතු ඵල ප‍්‍රයෝජන වඩාත් විධිමත් විය යුතුය. එමඟින් පරිසරයට හානිදායක යමක් සිදුවුවහොත් එහි අනිසි ප‍්‍රතිඵල මතු යම් දිනෙක ඉතා ඉහළින් භුක්ති විඳීමට සිදුවනු නොඅනුමානය. ශී‍්‍ර ලංකාව ඉතා කුඩා භූමි ප‍්‍රදේශයක් හිමි රටකි. නමුත් අපට උරුම වූ මෙන්ම අපට ආවේණික වූ පාරිසරික සමතුලිතතාව ඉතා ඉහළ අගයක් ගනී. මෙම සංවේදීතාවට හානි සිදුවීම පාරිසරික සමතුලිතතාව බිඳීයාමට හේතු වෙයි. හෙට දවසේ මෙරට පාරිසරික වටපිටාව අවදානම් සහගත නොවීමට නම් අප අද සිට ම පරිසරය සුරක්ෂිත කළ යුතුය. එය ජාතියක් සතු වගකීමයි.

පැල්පතින් තොර හරිත නගරයක්





සංවර්ධනය යනු රටක සෞභාග්‍යය උදා කරවන්නකි. සෞභාග්‍යමත්, සමෘද්ධිමත් සමාජයක් තුළ දිවි ගෙවීමට මෙ ලොව ඕනෑ ම පුද්ගලයෙකුගේ මානව අවශ්‍යතාවකි. සංවර්ධනය මානව සහ භෞතික යනුවෙන් දෙයාකාර වුවත් මිනිසුන්ගේ ආකල්ප, ගුණධර්ම සහ වටිනාකම් නැංවීම මෙහිලා සැලකෙන අතර මිනිසුන්ගේ ජීවන පරිසරය සුඛිත මුදිත බවට පත් කිරීම භෞතික සංවර්ධනය ලෙස සැලකේ. මෙරට සංවර්ධනයේ ස්වර්ණමය යුගයක් ඇතිකරමින් කොළඹ පැල්පත්වාසීන් එයින් මුදවාගනිමින් ඔවුන් වෙනුවෙනුම දැන් සුවිසල් මන්දිර ඉදිවෙමින් පවතී.

ඒ යටතේ පැල්පතින් තොර හරිත නගරයක් මහින්ද චින්තන සංකල්පය යටතේ රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පූර්ණ මැදිහත්වීමෙන් හා මඟපෙන්වීම මත නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කළ නිවාස 1137කින් සමන්විත කොළඹ හේනේමුල්ල, රන්දිය උයන, විසල් නිවාස ව්‍යාපෘතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනයට සමඟාමීව හෙට (18) ජනතා අයිතියට පත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු යොදා ඇත.

ඉතා කුඩා බිම් ප‍්‍රමාණයක කිසිදු පහසුකමක් නොමැතිව දුකසේ ජීවත් වූ මෙම අසරණ ජනතාවට සියලු ම පහසුකම් සහිත ව අලංකාර නාගරික පරිසරයක් ද සමගින් ලැබෙන මෙම නව නිවසක වටිනාකම රුපියල් මිලියන 8 ක් පමණ වේ. වර්ග අඩි 450 කින් සමන්විත මෙම නිවසක නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, සඳළුතලයක් හා සනීපාරක්‍ෂක පහසුකම්වලින් යුක්ත වේ. නවීන විදුලි සෝපාන හා හදිසි අවස්ථාවන් හී දී විදුලි බලය ලබා ගැනීම සඳහා සූර්ය බල ශක්ති පද්ධති ද සවිකර තිබීම විශේෂත්වයකි. ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුව ලොව නවීන නාගරික සැලසුම් සමගින් ඉතා විධිමත් ලෙස යටිතල පහසුකම් ද සංවර්ධනය කර තිබේ. මෙම මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට සමඟාමී ව හරිත උද්‍යාන සහිත ළමා උද්‍යාන, ක‍්‍රීඩාංගණ, විධිමත් ලෙස මාර්ග පද්ධති පුළුල් කිරීම, ප‍්‍රජා ශාලා වැනි අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ද වැඩිදියුණු වීම ජනතාව ලැබූ තවත් විශිෂ්ට ප‍්‍රතිලාභයකි.

කොළඹ පැල්පත්වාසීන් පැල්පතින් මුදවාලමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උදාර නායකත්වයෙන් රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පූර්ණ මැදිහත්වීමෙන් හා මඟපෙන්වීම මත නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක නිවාස 70000 කඩිනම් විසල් ව්‍යාපෘති වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතියට අමතර ව ඉදි වූ තවත් සුවිශේෂී වූ නිවාස ව්‍යාපෘති 03ක් ජනතා අයිතියට පත්කිරිමට මේ වන විටත් සූදානම් ව ඇත.

නොවැම්බර් 21 එදිරිසිංහ වත්ත සිරිමුතු උයන නිවාස 564 ක් ද, දෙසැම්බර් 01 වන දින කොළොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවණ නිවාස 216 ක් ද, දෙසැම්බර් මස 08 වන දින ෆර්ගියුෂන් පාර මුවදොර උයන නිවාස 872ක් ද ජනපති ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරිමට නාගරික සංවර්ධන අධිකාරිය මේ වන විට සියලු කටයුතු සූදානම්ව ඇත.

2010 ඔක්තෝම්බර් මාසයේ සිට කොළඹ නගරය තුළ වැඩබිම් 26ක ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු ලොව නවීණ නගර සැලැසුම් සමගින් විධිමත් යටිතල පහසුකම්වලින් යුත් නිවාස ඒකක 20000 කඩිනමින් මේ වන විටත් ඉදිවෙමින් පවතී. මේ වන විට නිවාස ඒකක 3000ක් පමණ ජනතාව අතට පත්කර ඇති අතර මේ වසර අවසානයේ නිවාස ඒකක 5000ක් ජනසතු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

මෙය ශී‍්‍ර ලංකා ඉතිහාසයේ නිවාස ඉදිකිරිම් ක්ෂේත‍්‍රයේ වාර්තා ගත සන්ධිස්ථානයක් වනු නොඅනුමානය. මෙය සැබෑ ම ආශ්චර්යයකි. ජනාධිපතිතුමාගේ තුන් කල් දක්නා නුවණින් හා විශිෂ්ට නායකත්වයෙන් දශක ගනණාවක් පුරා ඉදිකිරීමට නොහැකි වු නිවාස ප‍්‍රමාණයක් පසුගිය වසර 03ක් වැනි කෙටි කලක් ඇතුලත ඉදිකර ජනතාවට තිළිණ කිරීමට හැකි වීම අපේ රටේ ජනතාව ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයකි. පාට පක්‍ෂ, ජාති, කුල, ආගම්, නෑදෑකම් ඇතුළු මොනයම් හෝ පුද්ගලික පටු සාධකයන්ගෙන් සම්පූර්ණයෙන් ම තොර වී කොළඹ නගරයේ ජීවත් වන අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ම ක‍්‍රියාමක මෙම විසල් සංවර්ධන ව්‍යාපෘත ක‍්‍රියාවෙන් ම ඔප්පු කිරීමට ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියට හැකියාව ලැබී තිබේ. දහසක් බලාපොරෝත්තු මැද දිනාගත් සාමයට නව අරුතක් ගෙන දෙමින් අප මේ ගත කරන්නේ සංවර්ධනයේ ස්වර්ණමය යුගයකය. දිනෙන් දින මේ ගොඩනැගෙන්නේ රටේ අනාගතයයි. මේ ගොඩනැගෙන්නේ ඔබගේත් ඔබගේ දරුවාගේත් හෙට දවසයි.

වේගවත් නාගරීකරණයත් සමග ලෝකයේ සෑම රටක් ම මුහුණපාන පැල්පත්වාසීන්ගේ හා අඩුපහසුකම් ජනතාවගේ නිවාස අවශ්‍යතා සපුරාලීමේ අභියෝගය ජය ගැනිමින් සාර්ථකව ඉදිරිය කරා ගෙන යන සංවර්ධන ක‍්‍රියාදාමයේ නියමුවන් ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, අධ්‍යක්‍ෂ ජනරාල් හර්ෂාන් ද සිල්වා, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් බි‍්‍රගේඩියර් සමන්ත ජයසුන්දර, නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ බි‍්‍රගේඩියර් රංජිත් සමරසිංහ ඇතුළු නිලධාරිවරු කටයුතු කරති.

ගාල්ලට අරුණැල්ලක්

දිවයිනේ දිස්ත්‍රික අතරින් ගාල්ල දිස්ත්‍රික්කය ඓතිහාසික වශෙයන් මෙ‍න් ම ආර්ථික සාධක අතරින් ද රට තුළ කැපී පෙනන පරිපාලන ඒකකයකි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19කින් සමන්විත ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් සංඛ්‍යාව 895කි. මෙම කලාපය තුළ දියුණු නාගරික ලක්ෂණ ඉස්මතු කරන ප්‍රදේශ මෙන් ම නොදියුණු ග්‍රාමීය ලක්ෂණ පවතින ප්‍රදේශ පවතින්නේ අලුත් ආර්ථික සංවර්ධනයත් සමඟ ආසියාවේ අසිරියේ හිමිකරුවෙක් වීමට මහත් වූ අපේක්ෂාවෙනි. නොදියුණු යැයි සම්මත ලක්ෂණ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉස්මතුවීමට රටේ අනිකුත් ප්‍රදේශවලට හේතුවන පොදු කරුණු ම බලපා ඇති බව දැනට පැහැදිලි ව පවතින කාරණාවක් වී ඇත.

එනම් ආර්ථිකමය ගැටලු, පවුල්වල විසරීයාම, පවතින සම්පත්වලින් ඉහල ඵලදායිතාවක් ලබා ගැනීමට නොහැකි වීම යන කාරණා වේ. එමෙන් ම මෙම කාරණා තුළින් ළමා අපචාර, කාන්තා හිංසනය වාර්තා වැඩිවීම, දිවිනසා ගැනීම් වැඩිවීම, සමාජයීය පරිහානිය ඉහළ යාම වැඩි වී ඇති බවද ගම්‍ය කරයි. මෙම සමාජ ප්‍රශ්න ගාලු දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ව ජීවත්වන අඩු ආදායම්ලාභී ජනතාවගෙන් උද්ගත වන සමාජයීය ප්‍රශ්නයක් ලෙස ද හඳුනාගෙන ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ මුළු පවුල් සංඛ්‍යාව 269,000ක් පමණ වන විට එයින් 100,000කට ආසන්න පිරිසක් තේ වගාව ආශ්‍රිත ව ජීවිකාව ගොඩනඟාගත් පුද්ගලයන් වන අතර 50,000කට ආසන්න ප්‍රමාණයක් කුරුඳු වගාව ආශ්‍රිතව ජීවනෝපාය මාර්ග සකසාගත් පිරිසක් වෙති.

මෙම කරුණු පාදක කරගත් ගාල්ල මහ දිසාපති, දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු අවම කර ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සමාජ ඵලදායිතා සතිය නම් කරමින් සමාජ ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහනකට වර්තමානයේ මුල් පියවර තබා ඇත. ඒ අනුව මෙහි පළමු පියවර වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජීවනෝපාය මාර්ගයක් වන කුඩා වතු ආශ්‍රිත තේ, කුරුඳු හා රබර් වගාවන්හි ඵලදායිතාව උපරිමය සඳහා මෙන්ම ඒ ආශ්‍රිත ව ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු යොදා ඇත. එමගින් දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඉලක්කයක් වන ගාල්ල දිස්ත්‍රික් ජනතාවගේ 9.9%ක් වන දිළිඳුකම අඩු කිරීම මෙමගින් අපේක්ෂා කරයි.

වර්තමානය වන විට මෙම වැඩසටහන සඳහා ස්ථාපිත ක්‍රියාකාරී මෙහෙයුම් කමිටුව මගින් ජීවනෝපාය මාර්ග දෙකක් ලෙස තේ හා කුරුඳු ආශ්‍රිත ජීවනෝපාය කටයුතුවල ඵලදායිතාව වැඩිදියුණු කිරීමට කටයුතු යොදා ඇත. එමෙන් ම මෙම ජීවනෝපායන් පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනයේ දී තේ හා කුරුඳු සඳහා විශේෂ වෙළෙඳපොළක් තිබීම, ගැනුම්කරුවන් සමීපයේ සිටීම, වෙළෙඳපොළ ඇතිවන ඉහළ භාණ්ඩ අවශ්‍යතාව, ශ්‍රී ලාංකික තේ හා ආදේශන නොවන කුරුඳු සඳහා පවතින ඉල්ලුම හා පර්යේෂණ මගින් ලබා ගත හැකි නව නිපැයුම්වලින් නිර්මිත විශාල සම්පත් හා සේවා ප්‍රමාණයක් පැවතීම යන කරුණු නිසා තේ හා කුරුඳු ක්ෂේත්‍රයන් හි ඵලදායිතාව ඉහළ නැංවීම සාර්ථක ඉදිරි ඉලක්කයක් ලෙස මේ වන විටත් හඳුනාගෙන ඇත.

ප්‍රවර්ධනය තුළින් වැඩි ආදායමක් ලබා ගත හැකි භෝග සම්පතක් ලෙස කුරුඳු හා තේ වගාව හඳුනාගත්ත ද, මේ වන විට ලබා ගත හැකි උපරිම අස්වැන්න නෙළා ගැනීමට වගාකරුවෝ අපොහොසත් වී තිබීම දේශීය ආර්ථිකයට ලැබෙන ආදායම් නොලැබී යාමකි. එනම් කුඩා තේ වතු අධිකාරිය පවසන ආකාරයට අක්කරයකින් තේ කිලෝ ග්‍රෑම් 650 පමණක ප්‍රමාණයක් ලබා ගත හැකි වුව ද වගා හිමිකරුවෝ තේ අක්කරයකින් ලබා ගන්නා දළු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 350ක සාමාන්‍ය අගයක පවතින බවය. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කය තුළ තේ කිලෝ ග්‍රෑම් 1000ක ප්‍රමාණයක් අක්කරයකින් ලබා ගන්නා පිරිස 10%ක් පමණ අඩු ප්‍රමාණයක් බව සඳහන් වේ. කුරුඳු භෝගය ගැන සලකා බැලීමේ දී, එහි තත්ත්වය ද එම ආකාරයෙන් ම පවතී. එනම් කුරුඳු අස්වැන්න කිලෝ ග්‍රෑම් 150/200ක අගයක් පවතින අතර අපනයන කෘෂිකර්ම දෙපාර්තෙම්න්තුවට අනුව කුරුඳු අක්කරයකින් කුරුඳු කිලෝ ග්‍රෑම් 450ක පමණ අස්වැන්නක් වසරකට ලබා ගත හැකි බව සඳහන් වේ.

එබැවින් මේ වන විට ඵලදායිතා ප්‍රවර්ධන කමිටුව මගින් ඵලදායිතාව අඩු වීමට හේතු හඳුනාගනිමින් පවතී. එනම් ප්‍රධාන වශයෙන් වගාකරුවෝ දැනුවත් කිරීම සඳහා අවශ්‍ය සේවා පහසුකම් ලබා ගැනිමට ඇති අපහසුතාව, එනම් සේවා සැපයීමට සිටින නිලධාරීන් ගණන අඩු සංඛ්‍යාවක් වන අතර 90,000ක් පමණ වන ඉඩම් කැබලි සංඛ්‍යාවකට ඔවුන්ගේ උපදේශන සේවාව තුළින් වගාකරුවෝ සඳහා දැනුවත් භාවය ලබා දිය යුතුය. ඒ මගින් එක් අයෙකුට ඉඩම් 4000කට වඩා වැඩි සංඛ්‍යාවකට තම උපෙද්ශන සේවාව සැපයිය යුතු අතර ඒ සඳහා ඔවුනට හිමි සම්පත් හා කාලය ප්‍රමාණවත් නොවන්නේය. කාර්යාල තුළ අතිරේක නිලධාරීන් සිටිය ද ඔවුහු තම රාජකාරියෙන් බැහැර නොවන නිසා හෙවත් වෙනත් කටයුත්තකට සහය දැක්වීමට කැමැත්ත නොදැක්වීම මත ඔවුහු මැඳිරිගත මානසිකත්වයෙන් යුත් නිලධාරියෝ ලෙස හඳුනාගෙන ඇත. ඔවුන්ගේ මෙම මානසිකත්වය නිසා අතිරේක සේවා සම්පත වැදගත් කටයුත්තකට දායක නොවන සම්පතක් ලෙස අපතේ යාමක් සිදුවේ.

මෙම ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහනේ දී ප්‍රධාන වශයෙන් වගාකරුවෝ පිළිබඳ සලකා බැලීමේ දී රජය මගින් ලබා දෙන දැනුම ලබා ගැනීම සඳහා සංවිධානගත වීම අඩුවීම භෝග ඵලදායිතාව අඩු මට්ටමක පැවතීමට හේතු වී ඇත. ඒ අනුව මෙහි පවතින දුර්වලතා හඳුනාගත් නිලධාරීහු ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහනට සම්බන්ධ වන්නේ සියල්ල අවබෝධ කරගත් පරිසරයකින් පසු විෂය ක්ෂේත්‍රයේ සිය කාර්යයට එහා ගිය මැදිහත් වීමකටය. ප්‍රායෝගිකව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අභියෝගයක් වුව ද එමගින් ජනතාවගේ ජීවන අර්බුද විසඳා ගැනීමට මඟ පෙන්වීම අරමුණු කර ගෙන ඇත.

මෙම වැඩපිළිවෙළ ආරම්භයේ දී ප්‍රථමයෙන් ම ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමාගේ උපදෙස් අනුව ප්‍රාදේශීය කණ්ඩායම් සංකල්පය සවිබල ගැන්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම කටයුත්ත උදෙසා වසමක ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී ,කෘෂි පර්යේෂණ නිලධාරී හා ආර්ථික සංවර්ධන නිලධාරී යන කණ්ඩායම මුලික කරගෙන ඇත. ඒ ආකාරයෙන් මෙම කණ්ඩායම ප්‍රාදේශීය ලේකම් එහි නියමුවා වශයෙන් ප්‍රාදේශීය මෙහෙයුම් කමිටුවේ ආරම්භය 2012 වර්ෂයේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන්නකි. ප්‍රථමයෙන් කුරුඳු වගාවේ නියුතු 31දෙනෙකු සමඟ සාකච්ඡා කර ආරම්භ කරන ලද මෙම වැඩසටහන සතිපතා පවත්වන ලද ප්‍රාදේශීය මෙහෙයුම් කමිටුවල තීන්දු තීරණ මත ඉදිරි කාර්යයන්ට සැලසුම් සකස් කරන ලදී. මෙහි දී විශේෂයෙන් ම අපනයන කෘෂිකර්ම නිලධාරීන්, කුඩා තේ වතු නිලධාරීන් හා සෙසු නිලධාරීන් විසින් භෝග වගාකරුවෝ සඳහා තම ඉඩම්වල ඇති භෝගවල සතු ආර්ථික වටිනාකම හා ඒ සඳහා ඵලදාව වැඩිදියුණු කර ගැනීමට හැකි ක්‍රම ගැන දැනුවත් භාවයට ගෙන එමින් ඵලදායිතාව අඩුවීමට හේතුවන කාරණා පැහැදිලි කර දෙනු ලැබීය. ඒ අනුව පසේ ආම්ලිකතාවය වෙනස්වීම මත ඵලදායිතාව වෙනස් වන බවද පස සංරක්ෂණය, පඳුරු පාලනය, පසට ගැලපෙන උසස් පොහොර භාවිතය හා අස්වැන්න ලබා ගැනීමේ දී තේ දළු නෙළීමේ ක්‍රමවත් භාවය, කුරුඳු අස්වැන්න ලබා ගන්නා නිවැරදි ක්‍රමයන් යන අස්වැන්න වැඩි කර ගතහැකි ක්‍රමයන් පිළිබඳ වගාකරුවන් දැනුවත් භාවයට පත් කරන ලදී.

මෙම කාල වකවානුවේ දී ලබාගත් ප්‍රගතිය මූලික පදනම කරගත් ප්‍රාදේශීය නියමුවෝ මෙහි ඉදිරි ගමන පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ සාකච්ඡාවන් ආරම්භ කරන ලද්දේ මුදල් අමාත්‍යාංශයේ ද අනුදැනුම අතැතිවය. ඒ යටතේ මේ වන විට ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන මගින් සපුරාගත් ඉලක්ක ලෙස තාක්ෂණික ගැටලු විසඳා ගැනීමට ඒ ඒ භෝගයන්ට අදාළ ව සේවා උපදෙස් ලබා ගැනීමට වතු හිමියන්ට අවස්ථාව ලබා දීම හා වතු හිමියන්ගේ ගැටලු විසඳා ගැනීමට ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන ජාලයක් නිර්මාණය කර ගැනීමට පසුබිම සකස් කරදීම ළඟා කර ගත් සාර්ථක ඉලක්කයන් වේ.

වර්තමානය වන විට මෙම දැවැන්ත වටිනා මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික්කය තුළ මෙහෙයුම් කමිටු 18ක් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහනේ ඉදිරි සැලසුම් සකස් කරමින් ප්‍රධාන ඉලක්කයන් දිනා ගැනීමට මෙම කමිටුව තුළ ඇති වටිනා ම සාධකය වන්නේ උප මෙහෙයුම් කමිටු 18හි ක්‍රියාකාරිත්වයයි. එහි ක්‍රියාකාරිත්වය යනු ගාලු දිස්ත්‍රික්කයේ අනාගත සුබ නිමිති වේ.

2013/2014 ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන මෙසේ සාර්ථක වන විට 2 වන අදියර ලෙස 2015 දී සපුරාගැනීමට ඉලක්ක කරගෙන පවතින අරමුණු කිහිපයක් පවතී.

01. පළමු අදියරේ ක්‍රියාත්මක වු ග්‍රාම නිලධාරී වසම්වල පහසුකාරකයන් 1105ක ගේ මැදිහත්වීම මත නව පවුල් 10,000ක් සම්බන්ධ කර ගැනීම.

02. ප්‍රජා සංවිධාන ක්‍රියාකාරීන් අතරින් වසමකට 05 බැගින් වසම් 284ක් සඳහා මැදිහත්කරුවන් 1420ක් හඳුනාගෙන එක් ප්‍රජා ක්‍රියාකාරියෙකුට නව වසම තුළ නව පවුල් 10 බැගින් වැඩසටහනට යොමු කර ගැනීමට කටයුතු කිරීම.

03. දිස්ත්‍රික්කයේ ඉතිරි ග්‍රාම නිලධාරි වසම් 612 තුළ වැඩසටහන ආරම්භ කිරීම මගින් නව පවුල් වැඩසටහන සඳහා සම්බන්ධ කර ගැනීම, ඒ තුළින් 48,680ක පමණ පහසුකාරකයන් මෙම වැඩසටහනට එක් කිරීමට අපේක්ෂා කරයි.

විධිමත්ව පියවර තබමින් ඉදිරියට පැමිණෙන ගාලු දිස්ත්‍රික්කයේ තවත් සාධනීය සුභ ලකුණක් වන මෙම ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන ගාල්ලට සැබැවින්ම හෙමින් පායන අරුණාලෝකයක් ව හෙට දින ප්‍රාණවත් කරන මහා හිරු කදම්භයක්ව එය ගාලු කොටුව දෙසින් පෙනෙන සුන්දරත්වයෙන් පිරි හිරුට වඩා එකතු කළ අගයක් සහිත ව දිදුලන රැස් දහරක් වනු ඇත.

වඳ වී යන විල් මුවා රැකගනිමු

ශ‍්‍රී ලංකාවේ මුව පවුලේ සාමාජිකයන් හතර දෙනා අතුරෙන් දුර්ලභම සාමාජිකයා වන්නේ විල් මුවා හෙවත් ගෝන මුවා ය. සර්විඩේ (Cervidae) කුලයට අයත් වන විල් මුවා ඉංග‍්‍රීසියෙන් Hog Deer, Ceylon Hog Deer, Paddy - field Deer හා Swamp Deer යන නම්වලින් හඳුන්වයි. විද්‍යාත්මක ව Axis porcinus ලෙස හඳුන් වන මේ විශේෂය 2007 IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳ වීමේ තර්ජනයට ලක් වූ නැතහොත් තර්ජිත (Endangered) විශේෂයක් ලෙස දක්වා තිබේ.


ලංකාවේ ඉතා ම සීමිත ව්‍යාප්තියක් ඇති මේ සතුන් තෙත් කලාපයේ කළුතර හා ගාල්ල දිස්ත‍්‍රික්ක දෙකෙහි ද රට තුළට වන්නට ස්ථාන කිහිපයක හා වෙරළබඩ කලාපය ආශ‍්‍රිත පහත් බිම් ප‍්‍රදේශවල පමණක් වාර්තා වේ. මතුගම, බුලත්සිංහල, අම්බලන්ගොඩ, ගෝනපිනුවල, ඇත්කඳුර, කරන්දෙණිය, තෙල්වත්ත, බටපොළ, ඌරගස්මංහන්දිය හා මාඳු ගඟ ආශ‍්‍රිත දූපත්වල ද සුළු වශයෙන් මොවුන් ජීවත් වෙති. එහි වගුරු බිම්, පදුරු වනාන්තර, කුරුඳු වතු ආශ‍්‍රිත ප‍්‍රදේශවල හා කඩොලාන ආශ‍්‍රිත පරිසරවල ජීවත් වේ. එහෙත් දැනට මේ සතුන් වාර්තා වන ප‍්‍රදේශවල සුදුසු වාසස්ථාන බොහොමයක් එළි පෙහෙළි වීම හේතුවෙන් මේ සතුන් ගේ ගහනය ශීඝ්‍රයෙන් පහළ යමින් පවතී.



මේ ප‍්‍රදේශවල ජනතාව විල් මුවා වගා බෝග ආහාරයට ගන්නා සතුරෙකු ලෙස සලකයි. කිරිවදින ගොයම්, කුරුඳු දළු, එළවළු බෝගවල දළු ආහාරයට ගැනීමට මේ සතුන් රාත‍්‍රී කාලයේ දී වගාබිම්වලට පැමිණේ. එසේ පැමිණෙන සතුන්ව විදුලි සැර යෙදීමෙන් හා මළ පුඩු වැනි උගුල් ඇටවීමෙන් මරණයට පත් කරයි. ඉතාම සීමිත ගහනයක් පමණක් ජීවත් වන මේ සතුන් මේ අයුරින් මරා මස් විකිණීම මේ ප‍්‍රදේශවල බහුලව සිදු කරයි. විශේෂයෙන් මෙය අම්බලන්ගොඩ, කරන්දෙණිය, බටපොළ හා ඌරගස්මන්හන්දිය වැනි ප‍්‍රදේශවල බහුල ව සිදුවන්නකි.



ලංකාවේ ඉතා ම සීමිත ව්‍යාප්තියක් ඇති මේ සතුන් ආසියාවේ රටවල් කිහිපයක ම වාර්තා වේ. නේපාලය, භූතානය, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, වියට්නාමය, පකිස්තානය හා ඉන්දියාව වැනි රටවල මේ විශේෂය ව්‍යාප්ත ව සිටී. ඉන්දියාවේ තරමක් බහුල ව වාසය කරන මේ සතුන් බෙංගාලය, උතුරු ඉන්දියාව, පංජාබය හා ඇසැමය යන ප‍්‍රදේශවල ජීවත් වේ. මියන්මාරයේ කඩොලාන වනාන්තරවල තරමක් බහුල ව මේ සතුන් වාර්තා වේ.



විල් මුවා ලංකාවේ ඉතා සීමිත ප‍්‍රදේශයක පමණක් ව්‍යාප්ත ව සිටින බැවින් සමහරුන් මේ විශේෂය යටත් විජිත යුගයේ දී දඩයම පිණිස ලංකාවට හඳුන්වා දුන් සත්ත්ව විශේෂයක් ලෙස හඳුන්වයි. එහෙත් ඒ සඳහා කිසිදු ලිඛිත හෝ වෙනත් සාධක නොමැති අතර මේ විශේෂය ඈත අතීතයේ සිට ලංකාවේ ජීවත් වූ බවට සාධක පවතී. වසර 14000 ක් පමණ පැරණි අලවල පොත්ගුල් ලෙන තැනීමේ දී විල් මුවා ගේ යටි හනුවේ දතක කොටස් හමු වී ඇත. ඒ ගල් ලෙනෙහි හමු වූ සත්ත්ව නිදර්ශක පිළිබඳ ව ආචාර්ය ගාමිණී අධිකාරි මහතා සමඟ පර්යේෂණවල නිරත වන කැළුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා විසින් මේ බව තහවුරු කර තිබේ.



ඒ අනුව විල් මුවා ඈත අතීතයේ සිට ම ලංකාවේ ජීවත් වූ බවට තහවුරු වේ. තව ද දැනට වඩා පුළුල් ව්‍යාප්තියක් මේ සතා ගේ අතීතයේ තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. තව ද ලංකාවේ වාර්තා වන විශේෂයේ ලක්ෂණ හා ඉන්දියාවේ වාර්තා වන විශේෂයේ ලක්ෂණ අතර පුළුල් වෙනසක් පවතින බව බොහෝ පර්යේෂකයින් ගේ මතයයි. මේ පිළිබඳ ව වැඩිදුර පර්යේෂණවල නිරත වුවහොත් මේ විශේෂය ලංකාවට ආවේණික විශේෂයක් වීමේ වැඩි හැකියාවක් ඇති බව දැනට විද්‍යාඥයින් අතර පවතින මතයකි.



ප‍්‍රමාණයෙන් සෙන්ටිමීටර 60 - 65ත් අතර උසින් යුත් විල් මුවා ගේ ශරීර වර්ණය ඒකාකාර ලා දුඹුරු පැහැති ය. ශරීර ප‍්‍රමාණයෙන් තිත් මුවාට වඩා කුඩා වන අතර ඕලු මුවාට වඩා තරමක් විශාල ය. ශරීරයේ සුදු පැහැති තිත් නොමැති බැවින් තිත් මුවාගේ ශරීර වර්ණය රතු - දුඹුරු පැහැයක් ගන්නා බැවින් ඕලු මුවා ගෙන් ද වෙන් කර හඳුනා ගත හැකි ය. පිරිමි සතුන්ට කොටස් තුනකට බෙදුණු අං යුගලක් හිමි ය. සාපේක්ෂව තරමක් දික් වූ වලිගයක් දරණ මේ සතා ගේ පාද තරමක් කෙටි ස්වභාවයක් ගනී. ඇස් පැහැදිලි ව නෙරා පෙනෙන අතර කළු පැහැයෙන් යුක්ත වේ.



මේ සතුන් ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රධාන වශයෙන් ම වාසස්ථාන ආරක්ෂා කිරීම සිදු කළ යුතු ය. ඒ සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ යුතු ව ඇත. මීට අමතර ව මේ සතුන් විවිධ ආකාරයෙන් මරණයට පත් කිරීමට එරෙහි ව නීති ක‍්‍රියාත්මක කළ යුතු ව ඇත.



2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව විල් මුවා ආරක්ෂිත සතෙකි. පනතේ 30 වන වගන්තියට අනුව මේ සතුන්ට තුවාල සිදු කිරීම, මැරීම, අල්ලා ගැනීම, අල්ලා ගැනීම සඳහා මළ පුඩුවක්, උගුලක්, තුවක්කුවක්, පොල්ලක් හෝ වෙනත් උපකරණයක් භාවිත කිරීම, මරණ ලද හෝ අල්ලා ගනු ලැබූ සතෙකු හෝ සතා ගේ කොටසක් (මස් ඇතුළුව) ළඟ තබා ගැනීම හෝ සන්තකයේ තබා ගැනීම, මස් විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම, සම් හෝ අං තට්ටු ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙවැනි වරදකට වරදකරු වූ පුද්ගලයකුට රු. 20,000කට නොඅඩු හෝ රු. 50,000කට නොවැඩි දඩයක් හෝ අවුරුදු දෙකකට අඩු නොවන හෝ අවුරුදු පහකට වැඩි නොවන කාලයක් සඳහා වූ බන්ධනාගාර ගත කිරීමක් හෝ ඒ දඩය සහ බන්ධනාගාර ගත කිරීම යන දෙකට ම හෝ යටත් විය යුතු ය.





මේ නීති ක‍්‍රියාත්මක කිරීම පමණක් නො ව ජනතාව ඒ පිළිබඳ ව දැනුම්වත් කිරීම තුළින් මේ සතුන් රැක ගැනීම සඳහා යොමු වීම අද වන විට අත්‍යවශ්‍ය ව තිබේ.