Pages

Friday 20 February 2015

මුතුරාජවෙල-මාඳුගඟ-වන්කා‍ලේ තිබෙන මොනවද මේ තෙත්බිම්?

Bird

තවත් අන්තර්ජාතික තෙත්බිම් දිනයක් මෙම පෙබරවාරි දෙවැනිදාට යෙදී තිබුණි. වර්ෂ 1972 පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රැම්සා නුවරදී රැස්වූ රටවල් රැසක නියෝජිතයින් තෙත්බිම් සංරක්ෂණය සඳහා වූ ඉතා වැදගත් අන්තර්ජාතික එකඟතාවයක් වන රැම්සා සම්මුතිය (Ramsar Convention ඇතිකර ගන්නා ලදී. සෑම වසරකම පෙබරවාරි දෙවැනිදා අන්තර්ජාතික තෙත්බිම් දිනය සැමරෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
ජලාශ්‍රිත ශාක හා සත්ව විශේෂ රැසකට සුවිශේෂී 
වාසභූමි සපයන ෙජෙව විවිධත්වයෙන් අගතැන්පත් පරිසර පද්ධති ආකාරයක් ලෙස මෙන්ම මිනිසාගේ සමාජාර්ථික පරාමිතීන්ටද වටිනාකම් රැසක් අත්කර දෙන සොබාදහමේ ඉතා වැදගත් දායාදයක් වන තෙත්බිම් හඳුනාගෙන ඒවා සංරක්ෂණය කර ගැනීම අරමුණු කරගෙන ඇතිකරගත් මෙම අන්තර්ජාතික එකඟතාවය ලෝකයේ පරිසර සංරක්ෂණ ඉතිහාසයේ සුවිශේෂී කඩයිමක් ලෙස හැඳින්විය හැක. ඊට පින් සිදුවෙන්නට ශ්‍රී ලංකාවේ අපටද රැම්සා තෙත්බිම් ගණනාවක හිමිකම ලැබුණද මේ දක්වා එම තෙත්බිම් ආරක්ෂා කරගනිමින් ධරණීය ලෙස තෙත්බිම්වලින් ජනනය කරගත හැකි ප්‍රතිලාභ ලබා ගැනීමට අප කොතෙක් දුරට සමත්ව ඇතිද යන්න ගැටලු සහගතය. මෙවර තෙත්බිම් දිනයේදීවත් ශ්‍රී ලංකාවේ තෙත්බිම් සංරක්ෂණය පිළිබඳ යහපත් බලා‍පොරොත්තුවක් ඇතිකර ගත හැකිවේද යන පැනය අප අභිමුව ශේෂ වී තිබුණේ එබැවිනි.
අන්තර්ජාතික වටිනාකමක් සහිත රැම්සා තෙත්බිම් ‍ලේඛනය (Ramsar List of wetland of international importance) යටතේ ජාත්‍යන්තර වශයෙන් වැදගත් තෙත්බිම් ලැයිස්තුගත කිරීම අරඹන ලද්දේ 1974 වසරේ සිටය. ඒ යටතේ මුලින්ම ‍ලේඛනගත වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ Cobovrg Peninsula තෙත්බිමයි. වර්තමානයේදී රටවල් 168 කට අයත් තෙත්බිම් 2186ක් මෙම ‍ලේඛනය ඇතුළත් කර ඇත.
ලෝකයේ රැම්සා තෙත්බිම්වලින් ආවරණය වී ඇති මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 208514877කි. ශ්‍රී ලංකාවේ තෙත්බිමක් මුලින්ම රැම්සා තෙත්බිම් ‍ලේඛනයට ඇතුළත් වන්නේ වර්ෂ 1990 ජුනි 15 වැනිදාය. ඒ බුන්දල තෙත්බිමයි. එය අංක 487 යටතේ ලියාපදිංචි වී ඇත. 
ඉන්පසු පිළිවෙළින් ආනවිළුවන්දාව (2001 අගෝස්තු 03/ අංක 1078), මාදුගඟ (2003 පෙබරවාරි 11/අංක 1372), වන්කාලෙයි (2010 අගෝස්තු 12/1910), කුමන (2010 ඔක්තෝබර් 29/1931) හා විල්පත්තුව (2013 පෙබරවාරි 02/2095) යන ශ්‍රී ලාංකේය තෙත්බිම් රැම්සා තෙත්බිම් නාමාවලියට ඇතුළත් කරන ලදී. එසේම 1989 වසරේදී සකස් කරන ලද ආසියානු තෙත්බිම නාමාවලියටද මෙරට තෙත්බිම් ගණනාවක් ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ බලපවත්නා 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත (සංශෝධන) 1937 අංක 02 දරන වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත මගින් ප්‍රකාශිත වනජීවී රක්ෂිත වශයෙන් මෙරට පිහිටා ඇති සියලුම තෙත්බිම්වලට නීතිමය ආවරණය ලැබි තිබේ. නමුත් හුදෙක් රැම්සා තෙත්බිම් ‍ලේඛනයට ඇතුළත් කිරීමෙන් හෝ වනජීවී රක්ෂිත ලෙස නම් කිරීමෙන් පමණක් මෙරට තෙත්බිම්වලට අත්වූ යහපතක් නොමැති බව වර්තමානයේදී මෙරට තෙත්බිම් මුහුණදී සිටින කනගාටුදායක ඉරණම කදිමට දෙස් දෙයි.තෙත්බිම් යනු කිසිදු වැදගම්මකට නැති හිස් බිම් තීරු ලෙස ලෝකයා විසින් සලකනු  ලැබුවේ මීට දශක ගණනාවකට පෙරය. ලොව පුරා තෙත් බිම් කසළ බැහැරලන ප්‍රදේශ ලෙස යොදා ගැනීමට හෝ ගොඩකර තෙත්බිම් යනු කිසිදු වැදගැම්මකට නැති, හිස් මුඩු බිම් ලෙස සිතා කටයුතු කරන්නට ලෝකයා උත්සාහ කළ යුගයක් තිබුණි. පස් දමා ගොඩ කර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට හෝ කැළි කසළ පුරවා තෙත් බිම් විනාශ කරන්නට අතීතයේ දී විවිධ රටවල් කටයුතු කළේ එහෙයිනි. 
නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම දුර්මතය ලෝකයෙන් ඉවත් වී ගොස් බොහෝ කල්ය. ඒ වෙනුවට තෙත්බිම් යනු පරිසර විද්‍යාත්මක වශයෙන් ජල විද්‍යාත්මක වශයෙන් හා සමාජාර්ථික වශයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරණ සොබා දහමේ අමිල දායාදයක් බව ලෝකය මේ වන විට අවධාරණය කොටගෙන තිබේ. තෙත් බිම් මනා ලෙස සංරක්ෂණය කොට කළමනාකරණය කොට තිරසාර අයුරින් පරිභෝජනය කිරීම වෙනුවෙන් ලොව බොහෝ රටවල් කැපවී සිටින්නේ එබැවිනි.
නමුත් අවාසනාවක මහත නම් ශ්‍රී ලංකාව අද දක්වාම කටයුතු කරන්නේ ඉහත කී දුර්මතවලම එල්බගෙන බව කනගාටුවෙන්  නමුත් සඳහන්  කළ යුතුය. ඒ පිළිබඳව වටහා ගැනීමට කොළඹ අගනුවරින්  වැඩි දුරක් ගමන් කිරීමට අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවේ අගනුවර තදාසන්නව පිහිටා ඇති ඉතා වැදගත් සමුද්‍රාසන්න තෙත්බිමක් වන මුතුරාජවෙල තෙත්බිමට මේ මොහොතේ ද අත් වී ඇති ඉරණම ඊට කදිම නිදසුනකි. අඩු තරමින් අන්තර්ජාතික අවධානය යොමු වී ඇති මෙරට රැම්සා තෙත්බිම් කිහිපයවත් ආරක්ෂාකර ගැනීමට අ‍පොහොසත්ව සිටින වටපිටාවක අප තව දුරටත් තෙත්බිම් සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳව කතා කිරීම මිථ්‍යාවක්  බව නොකිවමනාය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම රැම්සා තෙත්බිම් ලෙස ප්‍රකාශයට පත් කළ බුන්දල ජාතික උද්‍යානයට අයත් වනාන්තර හා නිතොරවම ජලජ පක්ෂීන්ගෙන් ගහන බන්දුවැව ජලාශය විනාශ කරමින් හෝටලයක් හා සී ප්‍ලේන් තොටු‍පොළක් ඉදිකිරීමට පසුගිය රජයේ හිතවතකු පසුගිය කාලයේ කටයුතු කළේ වනජීවීය බලා සිටියදීය. සාමාන්‍ය වැසියෙකුට දර කෝටුවක් කඩා ගැනීමට පවා උද්‍යාන මායිම පනින්නට ඉඩ නොතබන වනජීවි නිලධාරීන් බූන්දල හරහා හම්බන්තොට කිරින්ද ප්‍රධාන මාර්ගයේ පසෙක ඉතා පැහැදිලි ලෙසම ජාතික උද්‍යානය තුළ මහා දවා‍ලේ සිදු වූ මෙම විනාශය දෙස ඉවත බලාගෙන සිටියේ ඉතා නිර්ලජ්ජිත ලෙසය. වර්තමාන බලපෙරළියත් සමග දැනට එම වනාන්තර හෙළි පෙහෙළි කිරීම තාවකාලිකව නවතා දමා තිබුණද කොයි මොහොතේ කවර මුහුණුවරකින්  එම විනාශය යළිත් සක්‍රීය වේ දැයි කිව නොහැකිය.
ශ්‍රී ලංකාවේ දෙවැනි රම්සා තෙත්බිම වන ආනවිලුන්දාව අභය භූමියට ඉතා ආසන්නව මේ වන විට ඉදිකෙරෙමින් පවතින නිෂ්පාදන ව්‍යාපෘතියක් හේතුවෙන් එම අභය භූමියට, ප්‍රදේශයේ ජල පද්ධතියට හා ජන ජීවිතවලට බරපතළ බලපෑම් එල්ලවීමේ අවදානමක් පිළිබඳව ප්‍රදේශයේ ආගමික නායකයින් ප්‍රමුඛ පරිසර හා සිවිල් සංවිධාන බලධාරීන් ගේ අවධානය යොමු කිරීමට උත්සාහ  කරන්නේ ද ඒ අතරය. මෙම කර්මාන්ත ශාලාව ඉදි කිරීම සිදුවන්නේ ආනවිලුන්දාව රැම්සා තෙත් බිමට, අභය භූමියට මීටර් 80ක දුරකින් වීම නිසා මෙම ව්‍යාපෘතිය හේතුවෙන් එම අගනා පරිසර පද්ධතියට බලපෑම් එල්ල වීමේ වැඩි ඉඩකඩක්  පවතී. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 199 පෙබරවාරි 23 දින අංක 859/14 දරන ගැසට් නිවේදනය අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර් 100ක් ඇතුළත යම් සංවර්ධන ක්‍රියාකාරකමක් සිදුකිරීමට ප්‍රථම පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත්ව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන්  පූර්ණ ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීමට ව්‍යාපෘති කරුවන් නීතියෙන් බැඳී සිටී. 
නමුත් මෙම ව්‍යාපෘති කරුවන් එසේ සිදුකර නොමැත. ඒ වෙනුවට මොවුන් විසින් සිදුකර ඇත්තේ ප්‍රාරම්භක පරිසර පරීක්ෂණ වාර්තාවක් පමණක් සකස් කිරීමය. නමුත් එසේ තිබියදී සොබා දහමේ අමිල දායාදයක ඉරණමද ජනතාවගේ ජීවත් වීමේ අයිතියද පෞද්ගලික කොම්පැණි කරුවෙකුට පාවාදෙමින් මෙම කර්මාන්තශාලාවේ ඉදිකිරීම කටයුතු සිදුකිරීමට අවසර ලබාදීමට වයඹ පළාත් පරිසර අධිකාරීය කටයුතු කිරීම තුළ තෙත් බිම් සංරක්ෂණය පිළිබඳව කතාකර පලක් නැත.
මෙරට තෙවැනි රැම්සා තෙත්බිම වන මාදුගඟේ ඉරණමද ඊට වැඩි වෙනසක් නැත. තෙත්බිම් අල්ලාගෙන ගොඩකිරීම හා අනවසර හෝටල් හා වෙනත් ගොඩනැගිලි ඉදිකිරීම, කඩොලාන ශාක විනාශය, ඝන අපද්‍රව්‍ය මහා පරිමාණයෙන් බැහැරලීම මෙන්ම අක්‍රමවත් සංචාරක කටයුතුද මේ වන විට මාදුගඟේ ඉරණම තීරණය කරමින් සිටී.
වන්කාලෙයි, කුමන හා විල්පත්තු රැම්සා තෙත්බිම් මේ වනවිට මුහුණ දී සිටින ඛිෙදනීය ඉරණමද මීට නොදෙවැනි බව නොකිවමනාය. නමුත් මේ කිසිම තෙත් බිමක් සංරක්ෂණය කරගනිමින් තිරසාර අයුරින් ප්‍රතිලාභ ජනනය කරගැනීමේ වැඩපිළිවෙළක් මතෛක් බලධාරීන් විසින් ඉදිරිපත් කර නැත.
වර්තමානයේ මෙරට ජනාධිපති ධුරය හොබවන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද ‍පොරොන්දු අතර ද පරිසරයට හිතැති ‍පොරොන්දු ගණනාවක් තිබූ බව සැබෑය. අප රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කරගැනීම හා ඒවායේ මායිම්වල සුරක්ෂිත බව පිළිබඳව වගබලා ගැනීම, පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශ වීමේ තර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම, දැනට හානි සිදුවී ඇති හෝ විනාශවීමේ අවදානමට මුහුණ දී ඇති පාරිසරික වශයෙන් වටිනා කලාප ලොව පවතින නවීනතම විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගැනීම වැනි ‍පොරොන්දු ඒ අතර විය.
නමුත් ඉහත සඳහන් පරිදි මෙරට සියලුම රැම්සා තෙත්බිම් පරිපාලනය වන වනජීවී සංරක්ෂණ විෂය පථය අමාත්‍යාංශ ගත කිරීමේදී වර්තමාන ආණ්ඩුව ද කටයුතු කර ඇත්තේ සංරක්ෂණවාදී ආකාරයෙන් නොවන බව කිව යුතුය. වනජීවී සංරක්ෂණයේ වගකීම පරිසර අමාත්‍යාංශයට භාර නොදී සංචාරක හා ක්‍රීඩා අමාත්‍යවරයා යටතට එම වගකීම පැවරීමම අවුල් සහගතය.
කෙසේ නමුත් ‍පොරොන්දු වූ පරිදිම ඉහත කී වනජීවී සම්පත් හා වනජීවී රක්ෂිත සංරක්ෂණයට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට මෛත්‍රී පාලනය අනලස්ව කටයුතු කරන්නේ නම් මේ වසරේදීවත් ශ්‍රී ලංකාවේ තෙත්බිම් සංරක්ෂණය පිළිබඳව යහපත් බලා‍පොරොත්තුවක් තබා ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත. ජනාධිපතිවරයාද, විෂය භාර අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ද, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ද මේ පිළිබඳව තම ප්‍රමුඛ අවධානය යොමු කරනු ඇතැයි අප උදක්ම උපේක්ෂා කරමු.

No comments: