Pages

Friday 20 February 2015

විවාහ මංගල්‍යය සැණකෙළියක් කරගත්තාට යුගදිවිය සැණකෙළියක් නොවේ

විවාහ මංගල්‍යය සැණකෙළියක් කරගත්තාට යුගදිවිය සැණකෙළියක් නොවේ

alt
විවාහය මිනිස් ජීවිතයේදී හමුවන සොඳුරුතම සන්ධිස්ථානයකි. එසේම අපගේ සංස්කෘතියට අනුවද එය ඉතා වැදගත් අධ්‍යාත්මික හා සමාජීය ගාම්භීර වූ අවස්ථාවකි. අලුත් පවුලක ආරම්භය සනිටුහන් කරන මෙම වැදගත් අවස්ථාව අද වන විට එමගින් ආරම්භ කරන නව ජීවිතයට ගැටලු ගොන්නක් උත්පාදනය කරන්නක් බවට පත්ව තිබේ. මෙය ඉතාම ඛිෙදනීය තත්ත්වයකි. අද මංගල දිනය තරම් ‘විකිණෙන’ වෙළෙඳ සංකල්පයක් තවත් ලංකාවේ නැති තරම්ය. අද මංගල උත්සවවල පැවතිය යුතු ගාම්භීර බව ඉක්මවා ගිය ‘සංදර්ශන’ තත්ත්වයකට පත්ව තිබේ. තම මංගල උත්සවයද මෙවැනි සංදර්ශනයක් කර නොගතහොත් එය මහා මදිකමක් ලෙස සිතීමට අද තරුණ ප්‍රජාව ‍පොළඹවා ඇත්තේද මේ සේවා සපයන වෙළෙඳ ප්‍රජාවන්ම බව ඉතා පැහැදිලිය. මේ කුළුගැන්වීම්වලට හසුව අද තරුණ තරුණියන්ද තම මංගල උත්සවය ව්‍යාජ සුරලොව සිරියක් ආටෝප කරගන්නට ගන්නා උත්සාහයන් අනන්තය. තම දෙමාපියන්ට ඇවිටිලි කරමින් ගේ දොර ඉඩකඩම් විකුණා, උකස්කර හෝ මංගල උත්සව සඳහා මුදල් සොයා ගන්නා දරුවෝ සමාජයේ සිටිති. එසේම තම සේවා ස්ථානවලින්, බැංකුවලින් මෙම ‍පොලී පදනම මතද මුදල් ලබාගෙන තම මංගල උත්සවවලට වියපැහැදම් කර වසර ගණන් එම ණය මුදල් ගෙවමින් දුක් විඳින අය අපට සමාජයේදී අනන්තවත් මුණ ගැසෙති.
තරුණ දූ දරුවෙනි, සිතා බලන්න. මංගල දිනයක් අලංකාරවත්ව, ගාම්භීර ගතියකින් යුතුව පැවැත්විය යුතුමය එහි විවාදයක් නැත. නමුත් මේ සුළු කාලය සඳහා තමනට දරාගත නොහැකි තරමේ මුදලක් වියපැහැදම් කිරීම නම් සැබවින්ම අනුවණකමකි. තමන්ගේ දෙමාපියන්ට හැකි ආකාරයට සැලසුම් සහගතව සකසුරුවමකින් යුතුව එය කළ හැකිය. උදාහරණයක් ලෙස මනාලිය හැඩගැන්වීම සඳහා ලක්ෂ ගණන් අයකරන ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිනියෝ අප රටේ සිටිති. ඒ සඳහා හැකියාව ඇති අය ඒ අයගේ සේවාව අත්වින්දාට කම් නැත. නමුත් තම තමන්ට ඇති හැකියාවට අනුව බොහෝ සුන්දර ලෙස මනාලියන් හැඩගන්වන්නට දක්ෂ ජනකාන්ත නොවූ ශිල්පීහු ද ඕනෑ තරම් සිටිති. ‍පොදුවේ ගත්විට සෑම මංගල සේවාවක්ම එසේය. තමන්ට දරාගත නොහැකි මිල ගණන්වල සේවා ලබාගෙන නව යුගදිවිය ණය ගෙවන්නට කැප නොකොට කල්පනාකාරීව තම මංගල උත්සවය සංවිධානය කර ගැනීමට සෑම තරුණaltතරුණියක්ම සිහි තබා ගත යුතුය. මංගල දිනය යනු පැය කීපයකට මිහිපිට සුරලොවක් මවාගැනීම නොවේ. මංගල දිනයෙන් ආරම්භ වන සුන්දර මොහොතේ සිට මුළු ජීවිතයම සුරවිමනක් කර ගැනීමට උත්සාහ දැරීමය. මංගල උත්සවයෙන් පසු සියල්ල අවසන් වන්නේ නැත. ඔබ යුවළක් ලෙස ජීවිතය ගොඩනගා ගැනීමට කිසියම් ආර්ථික ස්ථාවරයක් අවශ්‍ය වෙයි. එබැවින් ජීවිතයේ ආරම්භයේදී පුහු ආටෝපවලට විශාල මුදලක් නාස්ති නොකොට ඒවා දෙදෙනාගේ අනාගත සුබසිද්ධිය සඳහා ප්‍රවේශම් කරගනිමින් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙයි. අන්‍යයන් කරන්නන් වා‍ලේ ඒවාට ගැති නොවී තවත් කෙනෙකුගේ මංගල උත්සවයකට වඩා ඉහළින් කිරීමේ තරගයට අවතීර්ණ නොවී තමන්ගේ ඇති හැකියාවට අනුව අනාගතයට බරක් නොවන විවාහ මංගල උත්සවයකට යොමුවීම වැදගත්ය.
මංගල උත්සවයේදී වැදගත් වන අධ්‍යාත්මික සමාජමය අංගවලට මුල්තැනදී අපේ චාරිත්‍ර වාරිත්‍ර විධි නිසි අයුරින් අනුගමනය කරමින් චාම් එහෙත් ගාම්භීර මංගල උත්සවයක් සඳහා හතර වරිගය එකතු කර ගත හැකිය. එසේ නොමැතිව මඟුල් ගෙය කානිවල් එකක් නැතහොත් සැණකෙළියක් කර ගත්තාට යුගදිවිය යනු සැණකෙළියක් කානිවල් එකක් නොවන බව තරයේම සිතට ගැනීම ඔබගේ වගකීමකි.
උපදෙස්
සමාජසේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා
අනුෂා ගෝකුල ප්‍රනාන්දු
විසිනි


නිර්මලා කුමාරි සේනාරත්න

සොබාදහම ගවේෂණයට තෝතැන්නක් වූ යගිරල වනපෙතේ පරිසර තක්සලාව

ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවල් හා සැසඳීමේ දී අතිශය පෘථුල ෙජෙව විවිධත්වයකට හිමිකම් කියන රටක් බව නොකිවමනාය. නමුත් එම ෙජෙව උරුමයන් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කර තැබිම හා තිරසාර අයුරින් පරිභෝජනය කිරීමට අප සතු උනන්දුව දුර්වලය. ලෝකයේ ෙජෙව විවිධත්ව උණුසුම් කේන්ද්‍රයක් වශයෙන් ද ශ්‍රී ලංකාව නම්කර ඇත්තේ අපේ රටේ ඇති අග්‍රගණ්‍ය සොබා උරුමයන් රැස නිසාය. අප නිද්‍රාශීලීව පසුවෙද්දී මෙරට වනජීවී හා වෘක්ෂලතා සම්පත් දිනෙන් දිනම මිහිමතින්  තුරන්ව යමින් පවතී. එනිසා දේශීය දැනුම හා කුසලතාව යාවත්කාලීන කර ගනිමින් මෙරට ස්වාභාවික සම්පත් සංරක්ෂණය හා තිරසාර භාවිතය වෙනුවෙන් පෙළගැසීමේ කාලීන අවශ්‍යතාවක් පවතී. ඒ සඳහා මග කිවහැකි, අගනුවරටද ඉතා ආසන්න අපූරු අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස සොබාදහම ගවේෂණයට තෝතැන්නක් වූ යගිරල වනපෙතේ පරිසර තක්සලාව හැඳින්විය හැක.
යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතනය පිළිබඳ මූලික වස්තු බිජය හටගන්නේ වර්ෂ 1984 තරම් ඈත අතීතයේදීය. ඒ එම වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුව මගින් යගිරල වනාන්තරයේ අක්කර සියයක පමණ කොටසක් අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා යොදා ගනිමින් පවත්වාගෙන යාම ආරම්භ කිරීමත් සමගය. දැනට ශ්‍රී ලංකාව තුළ විශ්ව විද්‍යාලයක් මගින් අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා තම භාරකාරීත්වය යටතේ පවත්වාගෙන යන මුල්ම හා එකම වනාන්තරය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කළමනාකරණය වන මෙම යගිරල වනපෙතයි. ඉන් පසු මෙම වනපෙත කේන්ද්‍ර කරගනිමින් සංරක්ෂණ, පර්යේෂණ, අධ්‍යාපන හා පාරිසරික සංචාරක කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තිරසාරත්වය උදෙසා කේන්ද්‍රය හා යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතනය ජයවර්ධනපුර සරසවියේ මගපෙන්වීම යටතේ ආරම්භ විය.
දිවයිනේ අගනුවර සිටද පහසුවෙන් ළඟාවිය හැකි ආකාරයෙන් ස්ථාපනය වී ඇති යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතනය පිහිටා ඇත්තේ කොළඹට කිලෝමීටර් අනූවක් පමණ දුරින් කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රාදේශීය ‍ලේකම් බල ප්‍රදේශය තුළය. කොළඹ සිට හොරණ, මතුගම නගර ඔස්සේ හෝ කළුතර, බේරුවල ,දර්ගා නගරය ඔස්සේ මේ වෙත ළඟා විය හැක. ඝර්ම කලාපයට අයත් පහතරට තෙත් සදාහරිත වනාන්තරයක තුරු‍ලේ හිඳිමින් එහි නිහඬ නිස්කලංක හා සාමකාමී වටපිටාව අත්විඳින්නටත් පරිසර සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා ගැනීමටත් යගිරල වනපෙතේ මෙම පරිසර තක්සලාව තෝතැන්නක් බව අවධාරණය කළ යුතුය.
සමස්ත වපසරිය හෙක්ටයාර් 2004.9ක් වන යගිරල වනාන්තරය වන සංරක්ෂණ දෙපාර්තමේනතුව යටතේ පරිපාලනය වන අතර සිංහරාජයට දකුණින් පිහිටා ඇති දැනට ශේෂව පවතින අතිශය ෙජෙව විවිධත්වයෙන් පරිපූර්ණ පහතරට තෙත් කලාපීය සදාහරිත වනාන්තර අතලොස්ස අතරින් එකකි. කාණ්ඩ හැට දෙකකට හා ගණ 120කට අයත් ශාක විශේෂ 152ක් මෙම වනාන්තරයෙන් හමුවේ. තවද යගිරල වනපෙතේ සිදුකර ඇති ෙජෙව විවිධත්ව අධ්‍යයනයන්ට අනුව එහි ක්ෂීරපායී විශේෂ 36ක්, උරග විශේෂ 19ක් හා උභයජීවී විශේෂ 10ක් මෙම වනාන්තරය නිවහන කරගනිමින්  ජීවත්වන බව අනාවරණය කරගෙන ඇත. එයින් ක්ෂීරපායී විශේෂ 4ක් දිවයිනට ආවේණික බව තහවුරු කරගෙන තිබේ. යගිරල වනරක්ෂිතයේ ජීවනාලිය වශයෙන් හැඳින්විය හැකි ඇතා වැටුණු වළ නමින් හැඳින්වෙන දර්ශනීය දොළ පහර ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ රැසකගෙන්ද සමන්විත වේ. මෙම වනාන්තරය තුළින් ගලන දිය පහරවල්වලින් මේ දක්වා වාර්තා වී ඇති මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 22ක් පමණ වේ.
එසේම පක්ෂීන් නිරීක්ෂණයටද කදිම තෝතැන්නක් වන මෙම වන පියසේ මෑතකදී කරන ලද අධ්‍යයනයන්ට අනුව වාර්තා වී ඇති  පක්ෂි විශේෂ ගණන 94කි. ඒ අතුරින් 11 ක් ශ්‍රී ලංකාවට ආවේණික වන අතර 12ක් තර්ජනයට ලක්වූ විශේෂ වීම මෙම අගනා සොබා උරුමය රැක ගැනීමේ අවශ්‍යතාව මොනවට කියා පායි.
රක්ෂිතයේ ඉහළ කඳු පන්තියකින් ආරම්භ වී සිහින් දිය දහරාවක් ලෙස පහළට බසින මේ ඇතා වැටුණු දොළ වනපෙත මධ්‍යයේදී විශාල දොළ පහරක් බවට පත්වේ. පසුව මෙම දොළපහර උඩුගම දෙසට ගලා බසින අතර එහි නැවතුම සිදුවන්නේ බෙන්තර ගඟට එක්වීමෙන් අනතුරුවය. තවත් අපා දෙපා සිවුපා විහඟ ඈ සත්ව විශේෂ රැසකගේද නිජබිම වන යගිරල සංරක්ෂිත වනාන්තරයේ කටුකිතුලාන හා පෙමරගල වශයෙන් ගිරි හිස් දෙකකි. මෙම ඇතා වැටුණු වළ පිළිබඳ විමසන පුරාවෘත්ත වලට අනුව අතීතයේ දී මෙම වනාන්තරය අලි ඇතුන්ටද වාසභූමි සපයා ඇති අතර එසේ  ජීවත්වූ ඇතෙකු වරක් මෙම දිය දහරේ තිබූ ස්වාභාවික ගල් වළකට වැටීම නිසා මෙම දොළ පහර ඇතා වැටුණු වළ ලෙස හඳුන්වන බව කියති. මෙවැනි සොබාදහමේ  අපූර්ව නිර්මාණයක් බඳු යගිරල වන පෙත සෙවණේ හිඳිමින් වන හා පරිසර විද්‍යාවන් හැදෑරීමට ලැබේ නම් එය සැබෑ ලෙසම අසිරිමත් සිදුවීමක් බව නොකිවමනාය.
නමුත් සොබා සුන්දරත්වයෙන් අනූන වූ මෙම සුන්දර වන පියසට මිනිස් ක්‍රියාකාරකම්  නිසා ඇතිවී ඇති තර්ජන ද සුළුපටු නොවන බව කනගාටුවෙන් නමුත් ප්‍රකාශ කළ යුතුය. ඒවායින් කීපයක් පහත පරිදි දැක්විය හැකිය. වනාන්තර මායිමේ ඇති ඉඩම් අනවසරයෙන්  එළිපෙහෙළි කර ඒවා වගා බිම් බවට පත් කරගෙන තේ වැනි වැවිලි භෝග වගා කිරීම ප්‍රබල තර්ජනයක් බවට පත්ව ඇත. අක්‍රමවත්  ලෙස මහා පරිමාණයෙන් වනාන්තරය තුළින් දැවමය නොවන වනජ ද්‍රව්‍ය (වෙනිවැල්, වේවැල්, දුම්මල වැනි) රැස් කිරීම, වල්ලාපට්ට ශාකයේ ඇතිවන රෙසිනවලට මෑතක සිට ඇති වූ දැඩි ඉල්ලුම හමුවේ වනාන්තරය තුළ ඇති වල්ලාපට්ට ශාක කැපීම, දැව ජාවාරම්කරුවන්ගෙන් ආර්ථික වටිනාකමක් ඇති ශාකවලට ඇතිවී ඇති තර්ජන, සතුන් මස් පිණිස දඩයම් කිරීම හා සතුන් හා සත්ව කොටස් ජාවාරම (කබල්ලෑවන්, උරගයින් වැනි), කැළි කසළ හා අපද්‍රව්‍ය (‍පොලිතීන්, ප්ලාස්ටික් වැනි) වනාන්තරය මායිමේ බැහැර කිරීම ආදී විනාශකාරී තත්ත්වයන්ද මෙම වනපෙතේ ෙජෙව උරුමයන් වනසා දමමින්  සිටීමද ශෝචනීයය.
දැනට යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතන මගින් මෙම වනාන්තරය තුළ සිදු කෙරෙන අධ්‍යාපනික කටයුතු බොහෝය. විද්‍යාර්ථීන්, පාසල් සිසුන් හා සෙසු ‍පොදු ජනතාව තුළ පරිසරය පිළිබඳ දැනුම හා සංකල්ප වැඩි දියුණු කිරීම සඳහා මෙමගින්  සිදුවන මෙහෙය අති විශාලය. අධ්‍යාපනික හා දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් මෙම සුන්දර වනපෙතේ වැදගත්කම ජනතාවට අවබෝධ කර එතුළින් මෙම වනාන්තරයට ඇතිවී ඇති තර්ජන වළකාගෙන, මතු පරපුර උදෙසා මෙම වනාන්තරය සංරක්ෂණය කිරීම මෙහිදී මූලිකව සිදුවනු ඇත. පාරිසරික ව්‍යාප්ති හා ජනවිහිදුම්කරණ වැඩසටහන්, තිරසාර සංචාරක සේවා සැලසුම්කරණය, සංවර්ධනය හා ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩසටහන්, පරිසර උපදේශනය පිළිබඳ වැඩසටහන්, පරිසර සංචාරක වෘත්තීය පුහුණු හා ධාරිතා ප්‍රවර්ධන වැඩසටහන් ආදී ව්‍යාපෘති රැසක් ද මේ තුළ ක්‍රියාත්මක වේ. එමගින් බිහි කෙරෙන මානව සම්පත් අද දවසේ මෙන්ම හෙට දවසේද මෙරට මෙන්ම ලෝකය පුරා වනාන්තර, වනජීවීන්  හා සෙසු ස්වාභාවික සම්පත් සංරක්ෂණය හා කළමනාකරණය තුළින් මිහි තලයේ  අනාගත පැවැත්ම ස්ථාවර කර ගැනීම සඳහා දක්වන දායකත්වය අපේ රටටද ආඩම්බරයක් බව කිව යුතුය. එබැවින් මෙම ආයතන දීර්ඝකාලීනව පවත්වාගෙන යාම සඳහා අනලස්ව ක්‍රියාකිරීම බලධාරීන්ගේ යුතුකම හා වගකීම බවද අවධාරණය කළ යුතුය. යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතනය පිළිබඳ වැඩි විස්තර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන සහ පරිසර අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතාගෙන් ලබාගත හැක.

මුතුරාජවෙල-මාඳුගඟ-වන්කා‍ලේ තිබෙන මොනවද මේ තෙත්බිම්?

Bird

තවත් අන්තර්ජාතික තෙත්බිම් දිනයක් මෙම පෙබරවාරි දෙවැනිදාට යෙදී තිබුණි. වර්ෂ 1972 පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රැම්සා නුවරදී රැස්වූ රටවල් රැසක නියෝජිතයින් තෙත්බිම් සංරක්ෂණය සඳහා වූ ඉතා වැදගත් අන්තර්ජාතික එකඟතාවයක් වන රැම්සා සම්මුතිය (Ramsar Convention ඇතිකර ගන්නා ලදී. සෑම වසරකම පෙබරවාරි දෙවැනිදා අන්තර්ජාතික තෙත්බිම් දිනය සැමරෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
ජලාශ්‍රිත ශාක හා සත්ව විශේෂ රැසකට සුවිශේෂී 
වාසභූමි සපයන ෙජෙව විවිධත්වයෙන් අගතැන්පත් පරිසර පද්ධති ආකාරයක් ලෙස මෙන්ම මිනිසාගේ සමාජාර්ථික පරාමිතීන්ටද වටිනාකම් රැසක් අත්කර දෙන සොබාදහමේ ඉතා වැදගත් දායාදයක් වන තෙත්බිම් හඳුනාගෙන ඒවා සංරක්ෂණය කර ගැනීම අරමුණු කරගෙන ඇතිකරගත් මෙම අන්තර්ජාතික එකඟතාවය ලෝකයේ පරිසර සංරක්ෂණ ඉතිහාසයේ සුවිශේෂී කඩයිමක් ලෙස හැඳින්විය හැක. ඊට පින් සිදුවෙන්නට ශ්‍රී ලංකාවේ අපටද රැම්සා තෙත්බිම් ගණනාවක හිමිකම ලැබුණද මේ දක්වා එම තෙත්බිම් ආරක්ෂා කරගනිමින් ධරණීය ලෙස තෙත්බිම්වලින් ජනනය කරගත හැකි ප්‍රතිලාභ ලබා ගැනීමට අප කොතෙක් දුරට සමත්ව ඇතිද යන්න ගැටලු සහගතය. මෙවර තෙත්බිම් දිනයේදීවත් ශ්‍රී ලංකාවේ තෙත්බිම් සංරක්ෂණය පිළිබඳ යහපත් බලා‍පොරොත්තුවක් ඇතිකර ගත හැකිවේද යන පැනය අප අභිමුව ශේෂ වී තිබුණේ එබැවිනි.
අන්තර්ජාතික වටිනාකමක් සහිත රැම්සා තෙත්බිම් ‍ලේඛනය (Ramsar List of wetland of international importance) යටතේ ජාත්‍යන්තර වශයෙන් වැදගත් තෙත්බිම් ලැයිස්තුගත කිරීම අරඹන ලද්දේ 1974 වසරේ සිටය. ඒ යටතේ මුලින්ම ‍ලේඛනගත වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ Cobovrg Peninsula තෙත්බිමයි. වර්තමානයේදී රටවල් 168 කට අයත් තෙත්බිම් 2186ක් මෙම ‍ලේඛනය ඇතුළත් කර ඇත.
ලෝකයේ රැම්සා තෙත්බිම්වලින් ආවරණය වී ඇති මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 208514877කි. ශ්‍රී ලංකාවේ තෙත්බිමක් මුලින්ම රැම්සා තෙත්බිම් ‍ලේඛනයට ඇතුළත් වන්නේ වර්ෂ 1990 ජුනි 15 වැනිදාය. ඒ බුන්දල තෙත්බිමයි. එය අංක 487 යටතේ ලියාපදිංචි වී ඇත. 
ඉන්පසු පිළිවෙළින් ආනවිළුවන්දාව (2001 අගෝස්තු 03/ අංක 1078), මාදුගඟ (2003 පෙබරවාරි 11/අංක 1372), වන්කාලෙයි (2010 අගෝස්තු 12/1910), කුමන (2010 ඔක්තෝබර් 29/1931) හා විල්පත්තුව (2013 පෙබරවාරි 02/2095) යන ශ්‍රී ලාංකේය තෙත්බිම් රැම්සා තෙත්බිම් නාමාවලියට ඇතුළත් කරන ලදී. එසේම 1989 වසරේදී සකස් කරන ලද ආසියානු තෙත්බිම නාමාවලියටද මෙරට තෙත්බිම් ගණනාවක් ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ බලපවත්නා 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත (සංශෝධන) 1937 අංක 02 දරන වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත මගින් ප්‍රකාශිත වනජීවී රක්ෂිත වශයෙන් මෙරට පිහිටා ඇති සියලුම තෙත්බිම්වලට නීතිමය ආවරණය ලැබි තිබේ. නමුත් හුදෙක් රැම්සා තෙත්බිම් ‍ලේඛනයට ඇතුළත් කිරීමෙන් හෝ වනජීවී රක්ෂිත ලෙස නම් කිරීමෙන් පමණක් මෙරට තෙත්බිම්වලට අත්වූ යහපතක් නොමැති බව වර්තමානයේදී මෙරට තෙත්බිම් මුහුණදී සිටින කනගාටුදායක ඉරණම කදිමට දෙස් දෙයි.තෙත්බිම් යනු කිසිදු වැදගම්මකට නැති හිස් බිම් තීරු ලෙස ලෝකයා විසින් සලකනු  ලැබුවේ මීට දශක ගණනාවකට පෙරය. ලොව පුරා තෙත් බිම් කසළ බැහැරලන ප්‍රදේශ ලෙස යොදා ගැනීමට හෝ ගොඩකර තෙත්බිම් යනු කිසිදු වැදගැම්මකට නැති, හිස් මුඩු බිම් ලෙස සිතා කටයුතු කරන්නට ලෝකයා උත්සාහ කළ යුගයක් තිබුණි. පස් දමා ගොඩ කර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට හෝ කැළි කසළ පුරවා තෙත් බිම් විනාශ කරන්නට අතීතයේ දී විවිධ රටවල් කටයුතු කළේ එහෙයිනි. 
නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම දුර්මතය ලෝකයෙන් ඉවත් වී ගොස් බොහෝ කල්ය. ඒ වෙනුවට තෙත්බිම් යනු පරිසර විද්‍යාත්මක වශයෙන් ජල විද්‍යාත්මක වශයෙන් හා සමාජාර්ථික වශයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරණ සොබා දහමේ අමිල දායාදයක් බව ලෝකය මේ වන විට අවධාරණය කොටගෙන තිබේ. තෙත් බිම් මනා ලෙස සංරක්ෂණය කොට කළමනාකරණය කොට තිරසාර අයුරින් පරිභෝජනය කිරීම වෙනුවෙන් ලොව බොහෝ රටවල් කැපවී සිටින්නේ එබැවිනි.
නමුත් අවාසනාවක මහත නම් ශ්‍රී ලංකාව අද දක්වාම කටයුතු කරන්නේ ඉහත කී දුර්මතවලම එල්බගෙන බව කනගාටුවෙන්  නමුත් සඳහන්  කළ යුතුය. ඒ පිළිබඳව වටහා ගැනීමට කොළඹ අගනුවරින්  වැඩි දුරක් ගමන් කිරීමට අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවේ අගනුවර තදාසන්නව පිහිටා ඇති ඉතා වැදගත් සමුද්‍රාසන්න තෙත්බිමක් වන මුතුරාජවෙල තෙත්බිමට මේ මොහොතේ ද අත් වී ඇති ඉරණම ඊට කදිම නිදසුනකි. අඩු තරමින් අන්තර්ජාතික අවධානය යොමු වී ඇති මෙරට රැම්සා තෙත්බිම් කිහිපයවත් ආරක්ෂාකර ගැනීමට අ‍පොහොසත්ව සිටින වටපිටාවක අප තව දුරටත් තෙත්බිම් සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳව කතා කිරීම මිථ්‍යාවක්  බව නොකිවමනාය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම රැම්සා තෙත්බිම් ලෙස ප්‍රකාශයට පත් කළ බුන්දල ජාතික උද්‍යානයට අයත් වනාන්තර හා නිතොරවම ජලජ පක්ෂීන්ගෙන් ගහන බන්දුවැව ජලාශය විනාශ කරමින් හෝටලයක් හා සී ප්‍ලේන් තොටු‍පොළක් ඉදිකිරීමට පසුගිය රජයේ හිතවතකු පසුගිය කාලයේ කටයුතු කළේ වනජීවීය බලා සිටියදීය. සාමාන්‍ය වැසියෙකුට දර කෝටුවක් කඩා ගැනීමට පවා උද්‍යාන මායිම පනින්නට ඉඩ නොතබන වනජීවි නිලධාරීන් බූන්දල හරහා හම්බන්තොට කිරින්ද ප්‍රධාන මාර්ගයේ පසෙක ඉතා පැහැදිලි ලෙසම ජාතික උද්‍යානය තුළ මහා දවා‍ලේ සිදු වූ මෙම විනාශය දෙස ඉවත බලාගෙන සිටියේ ඉතා නිර්ලජ්ජිත ලෙසය. වර්තමාන බලපෙරළියත් සමග දැනට එම වනාන්තර හෙළි පෙහෙළි කිරීම තාවකාලිකව නවතා දමා තිබුණද කොයි මොහොතේ කවර මුහුණුවරකින්  එම විනාශය යළිත් සක්‍රීය වේ දැයි කිව නොහැකිය.
ශ්‍රී ලංකාවේ දෙවැනි රම්සා තෙත්බිම වන ආනවිලුන්දාව අභය භූමියට ඉතා ආසන්නව මේ වන විට ඉදිකෙරෙමින් පවතින නිෂ්පාදන ව්‍යාපෘතියක් හේතුවෙන් එම අභය භූමියට, ප්‍රදේශයේ ජල පද්ධතියට හා ජන ජීවිතවලට බරපතළ බලපෑම් එල්ලවීමේ අවදානමක් පිළිබඳව ප්‍රදේශයේ ආගමික නායකයින් ප්‍රමුඛ පරිසර හා සිවිල් සංවිධාන බලධාරීන් ගේ අවධානය යොමු කිරීමට උත්සාහ  කරන්නේ ද ඒ අතරය. මෙම කර්මාන්ත ශාලාව ඉදි කිරීම සිදුවන්නේ ආනවිලුන්දාව රැම්සා තෙත් බිමට, අභය භූමියට මීටර් 80ක දුරකින් වීම නිසා මෙම ව්‍යාපෘතිය හේතුවෙන් එම අගනා පරිසර පද්ධතියට බලපෑම් එල්ල වීමේ වැඩි ඉඩකඩක්  පවතී. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 199 පෙබරවාරි 23 දින අංක 859/14 දරන ගැසට් නිවේදනය අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර් 100ක් ඇතුළත යම් සංවර්ධන ක්‍රියාකාරකමක් සිදුකිරීමට ප්‍රථම පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත්ව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන්  පූර්ණ ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීමට ව්‍යාපෘති කරුවන් නීතියෙන් බැඳී සිටී. 
නමුත් මෙම ව්‍යාපෘති කරුවන් එසේ සිදුකර නොමැත. ඒ වෙනුවට මොවුන් විසින් සිදුකර ඇත්තේ ප්‍රාරම්භක පරිසර පරීක්ෂණ වාර්තාවක් පමණක් සකස් කිරීමය. නමුත් එසේ තිබියදී සොබා දහමේ අමිල දායාදයක ඉරණමද ජනතාවගේ ජීවත් වීමේ අයිතියද පෞද්ගලික කොම්පැණි කරුවෙකුට පාවාදෙමින් මෙම කර්මාන්තශාලාවේ ඉදිකිරීම කටයුතු සිදුකිරීමට අවසර ලබාදීමට වයඹ පළාත් පරිසර අධිකාරීය කටයුතු කිරීම තුළ තෙත් බිම් සංරක්ෂණය පිළිබඳව කතාකර පලක් නැත.
මෙරට තෙවැනි රැම්සා තෙත්බිම වන මාදුගඟේ ඉරණමද ඊට වැඩි වෙනසක් නැත. තෙත්බිම් අල්ලාගෙන ගොඩකිරීම හා අනවසර හෝටල් හා වෙනත් ගොඩනැගිලි ඉදිකිරීම, කඩොලාන ශාක විනාශය, ඝන අපද්‍රව්‍ය මහා පරිමාණයෙන් බැහැරලීම මෙන්ම අක්‍රමවත් සංචාරක කටයුතුද මේ වන විට මාදුගඟේ ඉරණම තීරණය කරමින් සිටී.
වන්කාලෙයි, කුමන හා විල්පත්තු රැම්සා තෙත්බිම් මේ වනවිට මුහුණ දී සිටින ඛිෙදනීය ඉරණමද මීට නොදෙවැනි බව නොකිවමනාය. නමුත් මේ කිසිම තෙත් බිමක් සංරක්ෂණය කරගනිමින් තිරසාර අයුරින් ප්‍රතිලාභ ජනනය කරගැනීමේ වැඩපිළිවෙළක් මතෛක් බලධාරීන් විසින් ඉදිරිපත් කර නැත.
වර්තමානයේ මෙරට ජනාධිපති ධුරය හොබවන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද ‍පොරොන්දු අතර ද පරිසරයට හිතැති ‍පොරොන්දු ගණනාවක් තිබූ බව සැබෑය. අප රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කරගැනීම හා ඒවායේ මායිම්වල සුරක්ෂිත බව පිළිබඳව වගබලා ගැනීම, පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශ වීමේ තර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම, දැනට හානි සිදුවී ඇති හෝ විනාශවීමේ අවදානමට මුහුණ දී ඇති පාරිසරික වශයෙන් වටිනා කලාප ලොව පවතින නවීනතම විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගැනීම වැනි ‍පොරොන්දු ඒ අතර විය.
නමුත් ඉහත සඳහන් පරිදි මෙරට සියලුම රැම්සා තෙත්බිම් පරිපාලනය වන වනජීවී සංරක්ෂණ විෂය පථය අමාත්‍යාංශ ගත කිරීමේදී වර්තමාන ආණ්ඩුව ද කටයුතු කර ඇත්තේ සංරක්ෂණවාදී ආකාරයෙන් නොවන බව කිව යුතුය. වනජීවී සංරක්ෂණයේ වගකීම පරිසර අමාත්‍යාංශයට භාර නොදී සංචාරක හා ක්‍රීඩා අමාත්‍යවරයා යටතට එම වගකීම පැවරීමම අවුල් සහගතය.
කෙසේ නමුත් ‍පොරොන්දු වූ පරිදිම ඉහත කී වනජීවී සම්පත් හා වනජීවී රක්ෂිත සංරක්ෂණයට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට මෛත්‍රී පාලනය අනලස්ව කටයුතු කරන්නේ නම් මේ වසරේදීවත් ශ්‍රී ලංකාවේ තෙත්බිම් සංරක්ෂණය පිළිබඳව යහපත් බලා‍පොරොත්තුවක් තබා ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත. ජනාධිපතිවරයාද, විෂය භාර අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ද, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ද මේ පිළිබඳව තම ප්‍රමුඛ අවධානය යොමු කරනු ඇතැයි අප උදක්ම උපේක්ෂා කරමු.

අසුනක් නොලැබුණු ‘මිඩිවයිෆ්’ බසයෙන් එළියට

අසුනක් නොලැබ හිටගෙන ගිය ගැබිනි මවක ගම්පොළ උලපනේ දී බසයෙන් එළියට විසි වී බරපතළ තුවාල ලැබූ සිද්ධියට සතියක් ගතවීමට මත්තෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් හිටගෙන යද්දී ගම්පොළ ජයමාලපුර ප්‍රදේශයේ දී බසයෙන් එළියට විසි වී මහ පාරට වැටී තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
මෙසේ තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ ගම්පොළ ජයමාලපුර 6වැනි පටුම‍ගේ පදිංචි යූ. එස්.ප්‍රේමකාන්ති පොඩිමැණිකේ නමැති පේරාදෙණිය රෝහලේ සේවය කරන පවුල් සෞඛ්‍ය සේවිකාවකි.
ඇය සිය සැමියා සමඟ යතුරු පැදියෙන් විත් කොත්මලේ ඩිපෝවට අයත් මහවැලිගම මහනුවර බස් රථයට ගොඩ වී ගමන් ගනිමින් සිටිය දී ජයමාලපුර පන්සල අසල වංගුව පසුකරද්දී බස් රථයේ අල්ලාගෙන සිටි කණුව අතහැරී දොරෙන් එළියට විසි වී තිබෙන බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මේ දිනවල පවතින අධික ශීතලත් සමඟ ඇය‍ගේ අත් හිරි වැටී මේ ලෙස බසයේ කණුව අතහැරී ඇති බව ද පරීක්ෂණ පවත්වන පොලිසිය අනාවරණය කරගත් බව සඳහන්ය. කෙසේ නමුත් ඇයගේ තත්ත්වය එතරම් බරපතළ නොමැති බවත් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමටත් ගම්පොළ පොලිසිය කටයුතු යොදා ඇති බව ප්‍රකාශ විය.
ගම්පොළ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා ස. පො. අ. චූලනී වීරරත්න ගම්පොළ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාගේ උපදෙස් මත රථ වාහන අංශ ස්ථානාධිපති උ.පො.ප. සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

අමුතුම ජාතියේ සතුන් යාල වනයේ


2015 පෙබරවාරි මස 20 10:40:26 | . 








 
මැණික් ගඟ සහ කුඹුක්කන් ඔය සීමා කොටගත් වර්ග කිලෝමීටර් 980ක පමණ ප්‍රමාණයකින් යුතු යාල අද ශ්‍රී ලංකාවේ වැඩිම සංචාරකයින් පැමිණෙන ප්‍රමුඛ තම වනෝද්‍යානය බවට පත්වී ඇත.
විශාලත්වයෙන් එය දෙවැනි වන්නේ විල්පතු වන උයනට පමණි. යාල වන උයනේ සතුන් දැක බලාගැනීමට පැමිණෙන්නන් අතර දේශීය මෙන්ම විදේශ සංචාරකයෝද විශාල ප්‍රමාණයක් වෙති. මෙම පිරිස් වනෝද්‍යානයේ සංචාරය කිරීම  සඳහා අවශ්‍යවන වාහන සැපයීම දැන් විශාල ව්‍යාපාරයක් බවට පත්වී ඇත. දිනකට වාහන 500 කටත් වඩා වැඩි ප්‍රමාණයක් වන උයනට ඇතුළුවෙයි.
මේවා සැපයීමෙන් හොඳ ආදායමක් එම වාහන සපයන්නෝ ලබති. එසේවුවද එම වාහන පදවන්නන් වනෝද්‍යානයේ ගෙනයන ක්‍රියා කලාපය වන උයනේ වනජීවීන්, වෘක්ෂ ලතා හෝ පරිසරයට කිසිසේත්ම හිතකර නොවන බව පෙනෙන්නට ඇත.
යාල ප්‍රසිද්ධ වී  ඇත්තේ ශ්‍රී ලංකා දිවියන්, වලසුන් සහ අලි ඇතුන් ගහන වනෝද්‍යානයක් වශයෙනි. යාල ලෝකයේ එක තැනක දිවියන් වැඩිවශයෙන්ම ගැවසෙන වනාන්තරයක් ලෙසද ප්‍රසිද්ධියට පත්වී ඇත.
එහි එක වාහනයක් දිවියෙක් දුටුවහොත් අනෙක් සියලුම වාහනවලට ඒ බව ජංගම දුරකථන මඟින් දැනුම් දෙනු ලබයි. මෙහිදී සිදුවන්නේ අවට ඇති සියලුම වාහන දිවියා දුටුවායයි කියූ තැනට එක රොක් වීමයි.
මුලින් පැමිණෙන වාහන මාර්ගය අහුරමින් දිවියා එතනින් ඉවත් වන තුරුම නවතා තබාගෙන බොහෝ වෙලාවක් සිටියි.එකදු රියදුරකු හෝ අනෙකුත් වාහන සඳහා අවස්තාවක් ලබාදෙන්නේ නැත.
යාල ඇති මාර්ග පටු වීම හේතුවෙන් මුලින් පැමිණෙන වාහන ඉදිරියෙන් නවතාගෙන සිටීම නිසා පසුව පැමිණෙන වාහනවලට දිවියා දැක ගැනීමට හෝ ඒ අසලට යාමටවත් ඉඩක් නොලැබෙයි.  
එවැනි  අවස්ථාවල සමහර අසංවර රියදුරන් කරන්නේ මාර්ගයෙන් බාහිර වන පෙදෙස පැත්තෙන් වාහනය පදවමින් ඉදිරියට යාමට උත්සාහ කිරීමයි. එවන් ක්‍රියාවකදී වනයට හෝ කුඩා සතුන්ට සිදුවන හානිය පිළිබඳව ඔවුන් සැලකිලිමත් වන්නේ නැත.
බොහෝ තැන්වල ඉවක් බවක් නොමැතිව වාහන පැදවීම නිසා විශාල වශයෙන් අලාභ හානි සිදුවෙයි. වාහන පැදවීම  නිසා නියමිත මාර්ගය අවට විශාල මඩ ගොහොරු ඇතිවී තිබේ.
පසුගියදා යාල සංචාරය කළ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වනජීවී දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වන්නන් කිහිප දෙනකුම  පැවසුවේ මෙම වාහන රියදුරන් සතුන් පෙන්වා සංචාරකයින්ගෙන් වැඩි මුදලක් ලබාගැනීමට උනන්දුවන නිසා මෙවන් තරඟකාරී තත්වයක් ඇතිවෙන බවය.
මීට අමතරව යාල වනයේ "ගැමුණු" නමින් වූ ඇතෙකු වාහන ඇතුළේ ඇති ආහාර උදුරා ගැනීමට පුරුදු කරවීමට තරම් සමහරුන් ක්‍රියා කර ඇති බවද ඔවුහු පවසති. සංචාරකයින් ගමන් ගන්නා මෙම වාහන ඇතුළේ  ඇත්තේ සංචාරකයින් ගමන් බිමන් යන අවස්ථාවල කෑමට බීමට ගන්නා විස්කෝතු, මාළු බනිස්, මසල වඩේ, කඩල  වැනි සතුන්ට කිසිසේත්ම සුදුසු ආහාර පාන නොවේ. මෙවැනි ආහාර වන සතුන්ට ලබාදීම නීති විරෝධී ක්‍රියාවක් වුවද  රියදුරන් හෝ මග පෙන්වන්නන් ඒ ගැන සැලකිලිමත් වන බවක් පෙනෙන්නට නැත.
මෙම අවාසනාවන්ත ක්‍රියා කලාපයන් නවත්වා දැමීමට කළ හැකි එකම ප්‍රතිකර්මය සියලුම වනෝද්‍යානයන්හි සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා වාහන සැපයීම සම්පුර්ණයෙන්ම වනජීවී දෙපාර්තමේන්තුව යටතට පවරාගෙන වන සතුන් දැක බලාගැනීම සඳහා සියලුම සංචාරකයින් හට සමසේ අවස්තාවක් ලබාදෙන සාධාරණ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැංවීම සහ  සියලුම රියදුරන් දැනුවත් කිරීම බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මගපෙන්වන්නෝ  පැවසුහ.