Pages

Sunday 22 February 2015

විරහ සුවය


මම ඥාති සොහොයුරා සමඟ ඔහුගේ වඩු මඩුවේ වහල පිළිසකර කරමින් සිටියෙමි.
වහල මත සිටි අපට යාබද පාර හොඳින් පෙනේ.
තරුණ යුවළක් පාරේ ඈත එනු මට පෙනිණ.
තරමක් ළඟට ආ කල තරුණයා කවුරුන්දැයි මම හඳුනා ගතිමි. තරුණිය ඔහුට තරමක් වැසී තිබුණෙන් ළඟට එන තුරුම හඳුනා නොගත හැකි විය.
ජෝඩුව අප අසලට ම පැමිණි කල බිම වැටුණු ලේන්සුව අහුලා දීමට තරුණයා නැමුණේ ය. තරුණිය ගේ රුව මසිත හොඳින් සිත්තම් වූයේ එවිට ය.
ඇය දුටු කල මම සීතල වී ගියෙමි.
වහලින් බිමට වැටේදෝයි බියක් මසිත ඇති විය. මා හඳුනා ගතහොත් ඊට වඩා ආත්ම ලජ්ජාවක් ඇති වේ. එහෙයින් මම ඔවුනට පිටුපා වහලට බර වීමි.
ඊළඟ මොහොතේ හොරැහින් පාර දෙස බැලූ මට තුරු වැල් අතරින් ඈත ඇදෙන ඔවුන් දිස් විය.
මම ඥාති සොහොයුරා දෙස බැලීමි. ඔහුද ඔවුන් ගැන විමසිලිමත්ව සිටි බව මට පෙනිණ.
ඒ වන විටත් මගේ ආත්මය කිඳා බසිමින් තිබිණ, මම තවදුරටත් අප්‍රාණික ව සිටියෙමි.
‘මොකද මල්ලියෙ එකපාරට වුණේ?’ ඥාති සොහොයුරා ඇසුවේය.
‘කොන්ද ඇමැට්ටි වුණා’ මම වහාම උත්තරයක් හොයා ගතිමි.
වහල මත දිගෑදුණු මම ටිකකින් වැඩ කිරීමට හිත හදා ගතිමි.
‘කවුද අයියෙ ඒ ගිය ‍ජෝඩුව?’
‘අර නෝබට් අංකල්ගෙ මස්සිනාගෙ පුතානෙ. මිනිහ ළඟදි හොරෙන්ම බැඳල වගේ!’
මගේ හිතේ අමාරුව වැඩි විය. මම එය කොන්දේ අමාරුව පිට දා වහලින් බැස ගෙදර ගොස් හුදෙකලා වීමි.
ඇය කලකට පෙර මගේ පෙම්වතියව සිටියා ය. අප මුණ ගැසුණේ පෞද්ගලික පන්තියක දී ය.
ඈ දුටු මුල් දිනයේ දී ම මසිත ඈ කෙරෙහි ඇදී ගියේ ය. ඇගේ දසුන මට ලොවේ ඇති සොඳුරු ම දසුන විය.
මගේ හැඟීම තේරුම් ගත් මිතුරෝ මට උදවු කළහ, ඇගේ අක්කා සිටියේ ද එකම පන්තියේ ය. ඇය ද මට උදවු කළා ය. අවසානයේ මම ජය ගතිමි. ඇය මගේ පෙම්වතිය බවට පත් වූවා ය. නගරයේ තැන තැන අපේ පෙම් රජ දහන මැවිණ.
එහෙත් එය වැඩි කල් නොපැවතියේ ය. සතුරු කුමාරයා ආවේ වෙනත් නගරයක පෞද්ගලික පන්තියකිනි. ඔහු ඇයට ළං වී තිබුණේ ඇය වෙනත් දිනයක ඒ පන්තියට ගිය කල ය.
‘මට ඔයා ඕනෑ. එයත් හරි හොඳයි. එයත් ඕනැ’ ඇය කීවා ය.
එබස මසිතට වේදනා ගෙන දුන්න ද හිතේ කෝපයක් ඇති නොවූයේ ඇගේ අහිංසකකම නිසා ම ය. ඇය හුරතල් ය. බොළඳ ය. අනුන් ගේ හිත් රිදවීමට අකැමැති ය.
‘දෙන්නෙකුට කොහොමද ආදරේ කරන්නෙ?’ මම ඇසීමි.
‘අනේ මන්ද?’ ඇය කිකිණි හඬින් සිනාසුණා ය.
‘ඔයා එක්කෙනෙක්ව තෝරගන්ඩ!’
‘අනේ මන්ද’
‘ඒ වුණාට මට නං ඔයාව නැතුව බෑ’
‘එයත් ඕකම තමයි කියන්නෙ’
මම අමනාප වී හිස බිමට හරවා ගතිමි.
‘තරහ ගන්ඩ එපා බබෝ! මං ඔයාල දෙන්නව මුණ ගස්සන්නං. දෙන්න කතා කරල තීන්දුවක් ගන්ඩ!’
මම එකඟ වීමි. ඔහු ද එකඟ වී තිබිණි.
පසු දිනෙක ඇය අප දෙදෙනා මුණ ගැස්සුවා ය.
ඒ නගරයේ අවන්හලකි. ඇය එක් කොනකට වී පලතුරු බඳුනක් රස විඳින්නට වූවා ය. අපි තවත් කොනකට වී අපේ බඳුන් අතැතිව, එහෙත් ඒවා රස විඳීමට තරම් හිතේ සංහිඳියාවක් නොමැතිව පෙම් සටනක නියැළුණෙමු.
‘ඔයා මොනව කිව්වත් මට එයා නැතුව බෑ. ඔයා අපිට ඉඩ දෙන්ඩ!’ ඔහු ආයාචනා කළේ ය.
‘කරන්ඩ පුළුවන් දෙයක් නං මං අවංකවම කරනව. ඒත් මට එයාව ඔයාට දෙන්ඩ බෑ’ මම තරයේ කියා සිටියෙමි.
ඔහුට අසරණ හිනාවක් ගියේ ය.
මම ද අසරණ හිනාවක් පෑවෙමි.
‘ඔයාල තීන්දුව ගත්ත ද?’ ඇය හිස් බඳුන මේසය මත තබා අප දෙදෙනා සමඟ ම සමො'සමේ හිනා වුණා ය.
ඒ වෙලාවේ ඒ හුරතල් බැල්මෙහි මම තදින් වෙළී ගියෙමි. ඇය කෙසේවත් අත නොහරිමියි මම සිතා ගතිමි.
‘මට බෑ. ඔයා අයින් වෙන්ඩ!’ මම අලුත් පෙම්වතාට කීමි.
‘මට නං බෑ. ඔයා අයින් වෙන්ඩ!’ ඔහු මට කීවේ ය.
ඉන් එහාට ඇත්තේ ගුටි කෙළියයි. එහෙත් ඔහුටත්, මටත් එය ගෝචර නොවී ය.
මසිත දැඩි ආවේගයක් හට ගත්තේ ය. මම අවන්හලින් පිටවී ඒ ඉදිරියේ වූ මගේ බසයට නැඟුණෙමි. ඔහු ද ගොස් ඔහුට නියමිත බසයට නගිනු මම දිටිමි. ඇය අවන්හල් දොරකඩට පැමිණ බස් දෙක දෙස මාරුවෙන් මාරුවට බලන්නට වූවා ය.
දැන් මේ සියල්ල වැළලී ගොසිනි. ඇය දැන් මටත් නැත. ඔහුටත් නැත, අප තුන් හිතකින්වත් නොසිතූ කෙනකුගේ අත ගෙන ඇත.
ලෝකය අප සිතුවාට වඩා පළල් ය. අප ඒ දිග පළල අවබෝධ කොට ගත යුතු ය.
මතු යම් දිනෙක ඇය මට මහ මඟ දී හමු වනු ඇත.
පෙර පරිදිම ඇය මා හා දොඩනු ඇත. මා ද කතා කළ යුතු ය.
ජීවිතය එසේ ය, අප ඊට මුහුණ දිය යුතු ය.

ඩිජිටල් මාධ්‍ය ලෝකයක අපි තවමත් ‘ඇනලොග්’


අපේ රටේ රූපවාහිනි මාධ්‍ය තුළ කේවල් කිරීමේ, නොඑසේනම් හෙට්ටු කිරීමේ බලය තියෙන්නේ රූපවාහිනි නාළිකාවලට. ඔවුන්ට තමයි බලය තියෙන්නේ. ඒ බලය ස්වාධීන නිෂ්පාදන ආයතනවලට හෝ ස්වාධීන නිෂ්පාදකයන්ට හෝ නැහැ. ඒ නිසා පෞද්ගලික අංශය නිපදවන ටෙලි නාට්‍ය කෙරෙහි අදාළ නාළිකා සැලකිල්ලක් දක්වන්නේ නැහැ.
ටිකක් හරි පිටින් ගන්නේ බාල ගණයේ මෙගා ටෙලි නාට්‍ය විතරයි. නමුත් පිටරට තත්ත්වය මීට වෙනස්. ඒ රටවල නාළිකා වැඩි ප්‍රතිශතයක් මිලදි ගත්තේ ස්වාධීන නිෂ්පාදකවරුන් ගෙන්. අපේ රටේ ටෙලි නාට්‍ය කර්මාන්තයේ අර්බුදයට මූලික හේතුව මේකයි.
ටෙලි නාට්‍ය යනු කලා කෘති නොවේ ය යන මතවාදයක් ස්ථාපිතව තිබු කාල වකවානුවක ‘භාවනා’, ‘අමරපුරය’ වැනි ටෙලි නාට්‍ය ඔස්සේ රූපවාහිනි ප්‍රේක්ෂකයන්ට අර්ථවත් වින්දනයක් ලබාදුන් ටෙලි නාට්‍යවේදියකු ලෙස බර්ට්‍රම් නිහාල් හඳුන්වා දිය හැකිය. ප්‍රේක්ෂකයන් උසස් ටෙලි නාට්‍ය ප්‍රතික්ෂේප නොකරන බව ඔහු මෙම නාට්‍යවල සාර්ථකත්වයෙන් මනාව ප්‍රත්‍යක්ෂ කර සිටියේය.
* ‘අමරපුරය’ ටෙලි නාට්‍යයෙන් පසු ඔබ වසර තුනක් නිහඬයි?
එකක් පෞද්ගලිකව ඇතිවෙලා තියෙන කලකිරීම. අනික ටෙලි නාට්‍ය කර්මාන්තයේ පවතින අර්බුදය.
* මොකද්ද කලකිරීම? මුලින්ම ඒ ගැන අපි කතා කරමු.
ලංකාවේ හුඟක් විචාරකයෝ ‘අමරපුරය’ ප්‍රශස්ත ටෙලි නිර්මාණයක් ලෙස අගය කළා. මං හිතන්නේ එයට තරම් විචාර මෑතදී වෙන කිසිම ටෙලි නාට්‍යයකට ලියැවුණේ නැහැ. ඔවුන් දක්වපු අදහස් ප්‍රබලයි; ඒ වගේම ගැඹුරුයි. නමුත් සම්මාන උත්සවවලදී එය නොසලකා හැරියා. අඩුම ගාණේ හොඳම ටෙලි නාට්‍යය සඳහා නිර්දේශ කළේවත් නැහැ. මේවා යට මොනව තිබුණ ද කියා කියන්න මා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් එකල සම්මාන උත්සව පවා දේශපාලනිකරණය වෙලා තිබුණනේ. එහෙම දේශපාලන දෘෂ්ටියකින් මගේ නිර්මාණය දිහා බැලුව ද දන්නෙ නැහැ. කොහොම වුණත් මේ ප්‍රශ්නය ශාස්ත්‍රීය විදියට අරගන්න මං කැමැතියි. ඒ කියන්නේ මේ විනිශ්චය මණ්ඩල සාමාජිකයන්ට දෘශ්‍ය කලාව පිළිබඳ තිබෙන දැනුම මොකද්ද කියන එක. විශේෂයෙන් සංඥාර්ථ පිළිබඳ ඔවුන් තුළ කිසිම අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්ට නැහැ. මේ අය අඩුම ගාණේ පීටර් වුලන්ගේ ‘සයින් ඇන්ඩ් මීනිං ඉන් ද සිනමා’ කියන පොතවත් කියවලා තියෙනව ද කියන එක සැක සහිතයි.
* ටෙලි නාට්‍ය කර්මාන්තයේ අර්බුදයක් ගැන ඔබ කතා කළා. මොකද්ද ඒ අර්බුදය?
අපේ රටේ රූපවාහිනි මාධ්‍ය තුළ කේවල් කිරීමේ, නොඑසේනම් හෙට්ටු කිරීමේ බලය (BARGAIN POWER) තියෙන්නේ රූපවාහිනි නාළිකාවලට. ඔවුන්ට තමයි බලය තියෙන්නේ. ඒ බලය ස්වාධීන නිෂ්පාදන ආයතනවලට හෝ ස්වාධීන නිෂ්පාදකයන්ට හෝ නැහැ. ඒ නිසා පෞද්ගලික අංශය නිපදවන ටෙලි නාට්‍ය කෙරෙහි අදාළ නාළිකා සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ටිකක් හරි පිටින් ගන්නේ බාල ගණයේ මෙගා ටෙලි නාට්‍ය විතරයි. නමුත් පිටරට තත්ත්වය මීට වෙනස්. ඒ රටවල නාළිකා වැඩි ප්‍රතිශතයක් මිලදි ගත්තේ ස්වාධීන නිෂ්පාදකවරුන් ගෙන්. අපේ රටේ ටෙලි නාට්‍ය කර්මාන්තයේ අර්බුදයට මූලික හේතුව මේකයි. මගේ පෞද්ගලික උදාහරණවලින් කතා කළොත් 2004 විකාශය කළ මගේ ටෙලි නාට්‍යයක් 2005 මැතිවරණයෙන් පසු විකාශය අත්හිටෙව්වා. මගේ ‘අමරපුරය’ අවුරුදු තුනක් යනකම් රූපවාහිනි නාළිකාවකට විකුණගන්න බැරිව ගියා. මේ සියල්ල තුළ පෙනෙන යථාර්ථයක් වගේම නොපෙනෙන යථාර්ථයකුත් තිබෙනවා. කේවල් කිරීමේ තනි බලය රූපවාහිනි නාළිකා සතුවෙද්දි ස්වාධීන නිෂ්පාදකවරුන් වන අප අසරණ තත්ත්වයකට ඇද වැටෙනවා.
* වෘත්තිය මට්මටින් පරිණත ස්වාධීන ටෙලි නාට්‍ය නිෂ්පාදකවරුන් අපිට ඉන්නවා කියලා ඔබ හිතනව ද?
ඉන්නවා. ඒත් අවංකව කිව්වොත් ඒ ඉතාම සුළුතරයක් පමණයි. වෘත්තිය මට්ටමේ නිෂ්පාදකවරයකු වෙන්න නම් ඔහුට ප්‍රතිභාව පමණක් තිබීම ප්‍රමාණවත් නැහැ. ඔහුට මාධ්‍යයේ නව ප්‍රවණතා, ආචාර ධර්ම, තාක්ෂණයේ වර්ධනය පිළිබඳ සැලකිය යුතු දැනුමක් තිබිය යුතුයි. බොහෝම සරල උදාහරණයක් ගත්තොත් හින්දි චිත්‍රපටයක ගීතමය ජවනිකාවක් ගන්න. ඒක බලද්දි අපිට තේරෙනවා, අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පියා, සංස්කාරකවරයා මොන තරම් වෘත්තිය මට්ටමකින් ඒ ජවනිකා නිර්මාණය කරලා තියෙනව ද කියලා. කාච යොදා ගැනීම, රූප ගැළපීම, ක්ෂේත්‍ර ගැඹුර. මේවා දැනගෙන තමයි ගීතමය ජවනිකාව නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් අපේ රටේ තියෙන්නේ මොකද්ද? නළු නිළියන්ට දෙබස් පවා දෙන්නේ එස්. එම්. එස්. මාර්ගයෙන්ලු. ඒක මොනතරම් පිරිහීමක් ද?
* රූපවාහිනි මාධ්‍යයේ වර්තමාන තත්ත්වය මොකද්ද?
රූපවාහිනිය හැම විටම වගේ පවතින දේශපාලන අධිපති මතවාදය (හෙජමොනිය) ප්‍රකාශ කරන මාධ්‍යයක්. එතැන ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ප්‍රවෘත්තිවල දෘෂ්ටිකෝණය, සාකච්ඡාවලට කැඳවන පුද්ගලයන්ගේ පක්ෂපාතිත්වය යනාදි සියල්ල තීන්දු කරන්නේ මේ අධිපති මතවාදය ඉදිරිපත් කරන්නයි. දේශපාලනයේදී මෙන්ම මාධ්‍යකරණයේදිත් ප්‍රජාතන්ත්‍රවාදය ස්පුට කරන්න පුළුවන් වෙන්නේ දේශපාලනය, මාධ්‍යය හා ජනතාව අතර සිදුවන සන්නිවේදනය නිරවුල්ව හා අර්ථවත්ව සිදුවුණොත් විතරයි. ‘සන්නිවේදනයේ ගැටලු’ පිළිබඳ අධ්‍යයනයක් කිරීම සඳහා 1978 දී යුනෙස්කෝව මඟින් පිහිටුවූ සීන් මැක්බ්‍රයිඩ් කොමිසම පළ කරපු වාර්තාව කියෙව්වොත් මේ ගැන හුඟක් දේවල් ඔබට දැනගන්න පුළුවන්.
* රූපවාහිනිය ඉදිරියේ ප්‍රේක්ෂකයා නිශ්ක්‍රීය චරිතයක්?
ප්‍රේක්ෂකයන්ගේ භෞතික, මානසික හා සමාජ ගති පැවතුම් අතික්‍රමණය කිරීමේ පූර්ණ බලය නාළිකා විසින් හිමිකර ගනු ලැබ තිබෙනවා. ප්‍රේක්ෂකයාට කිසියම් බලපෑමක් කරන්න පුළුළුන් වෙන්නේ මහජන නාළිකා (PUBLIC CHANNEL) වලට විතරයි. මොකද ඔවුනුත් එහි කොටස්කරුවෝ. අපිට කළ හැක්කේ පෙන්වන දේ දිහා ඔහේ බලන් ඉන්න එකයි. කිසිවකුට එරෙහි වන්න අපිට නෛතික වශයෙන්වත් බලයක් නැහැ.
* වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් මොනව ද කියන්න පුළුවන්?
ලබන වසර වන විට වෙළෙඳ දැන්වීම්වල මුල් තැන ගන්නේ රූපවාහිනිය. ඒ වන විට දැනට තිබෙන ප්‍රචාරණ විධි ක්‍රම යල් පනින බව මාධ්‍ය විශේෂඥයකු වන මැතිව් ක්‍රෑමර් පෙන්වා දෙනවා. 2018 විතර වෙනකොට වෙළෙඳ දැන්වීම් නියත (ඉලක්කගත) ප්‍රේක්ෂකයා වෙත පුද්ගලානුබද්ධව සන්නිවේදනය වෙනවා. ඒක වෙන්නේ දත්ත සංඥාපක මුල් කරගත් අන්තර් ක්‍රියාකාරී තාක්ෂණ ක්‍රමවේදයක් මඟින්. මේ අනුව රූපවාහිනියේ සාම්ප්‍රදායික හා ආවේණික කළමනාකරණ ක්‍රමවේද, අලෙවි උපක්‍රම ආදිය ද වෙනස්කම්වලට භාජනය වෙනවා.
* අපේ රූපවාහිනි විකාශය තවමත් තියෙන්නේ PAL ඇනලොග් ක්‍රමයට. මේකත් දැන් කල් ඉකුත් වෙලා?
අපි තවමත් ඉන්නේ පටන් ගත්තු තැන. අපිට PAL ඇනලොග් සිස්ටම් එක හඳුන්වලා දුන්නේ ජපානය. ජපානය අද 4K සිස්ටම් එකට ගිහින්. මේ දෙක අතර විශාල තාක්ෂණික පරස්පරයක් තියෙනවා. අංකිතකරණයේදි (ඩිජිටල්) අපිට අනුගමනය කළ හැකි ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ජපන් ක්‍රමවේදය. අනික යුරෝපා ක්‍රමවේදය. විද්‍යාත්මකවම කතා කළොත් ජපානයේ තියෙන්නේ ISBD-T (ඉන්ටග්‍රේටඩ් සර්විසස් ඩිජිටල් බ්‍රෝඩ්කාස්ටින් ටෙරස්ට්‍රියල්) ක්‍රමවේදය. ඒක දැනට ලෝකයේ රටවල් 16 ත් 20 ත් අතර ප්‍රමාණයක පවත්වගෙන යනවා. යුරෝපයේ තියෙන්නේ DVB-T2 (ඩිජිටල් වීඩියෝ බ්‍රෝඩ්කාස්ටින් ටෙරස්ට්‍රියල් - 2) ක්‍රමවේදය. ඒක රටවල් 60 / 70 ක පවත්වගෙන යනවා. මම පෞද්ගලිකව හිතන්නේ යුරෝපීය ක්‍රමවේදය අපිට වඩාත් ඵලදායක කියලයි. PAL ඇනලොග් ක්‍රමය දැනට අවුරුදු 25 ක් 30 ක් තිස්සේ මේ රටේ පවතිනවනේ. ඒ වගේ ඉදිරි අවුරුදු 25 තුළ පවත්වගෙන යා හැකි නව ක්‍රමවේදයක් තමයි දැන් අපිට අවශ්‍ය.
* රූපවාහිනි තාක්ෂණය මෙසේ නවීන වෙනකොට සිනමා තාක්ෂණය කෙබඳු වේවි ද?
ඒකත් ඊට සමපාතව දියුණු වෙනවා. දැන් තියෙනවා ‘අයි මැක්ස්’ තාක්ෂණය. මි. මි. 35 වගේ දහ ගුණයක් විශාලව රූපය පෙනෙනවා. මි. මි. 70 වගේ තුන් ගුණයක් විශාලව පේනවා. විද්‍යාඥයෝ කියනවා, පියවි ඇහැට පේන රූපය ග්‍රහණය කරගන්න කිසිම තාක්ෂණයක් තවම හොයාගෙන නැහැ කියලා. මේ විදියට අලුත් අලුත් තාක්ෂණ ක්‍රමවේද සොයා ගන්න, සොයා ගන්න ඒ තැනට ළඟා වෙන්න බැරි වෙන එකක් නැහැ.
* අපිට තවමත් අති නවීන තාක්ෂණයකින් හෙබි ගෘහස්ථ චිත්‍රාගාරයක අඩුපාඩුව තියෙනවා?
ඔව්. රන්මිහිතැන්න එළිමහන් චිත්‍රාගාරයක්. ඒ වගේ චිත්‍රාගාරයක් අපේ රටට වුවමනා නැහැ. මං ඒ බව මෙම චිත්‍රාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් පැවති එක්තරා සාකච්ඡා වාරයකදි කියා සිටියා. එතැන ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වූ ඩබ්. බී. ගනේගල මහතාත් හිටියා. පැය කීපයකින් කන්ද උඩරට ගමකට, වියළි කලාපයේ ගමකට, මුහුදු වෙරළ ආශ්‍රිත ගමකට යන්න පහසුකම් තියෙන ලංකාව වගේ පුංචි රටකට මොකට ද එළිමහන් චිත්‍රාගාරයක්? එදා මං කියපු දේ කවුරුත් ගණන් ගත්තු බවක් පෙනුණේ නැහැ. මට ආරාධනා කළෙත් ඒ සාකච්ඡා වාරයට විතරයි. ඊට පස්සේ ආරාධනා කළේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ? අද එය පාඩු පිට පවත්වගෙන යන චිත්‍රාගාරයක්.
* ඔබ දැන් අවුරුදු කීපයක ඉඳන්ම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සැලසුම් කරනවා. ඒ සැලසුමට මොකද වුණේ?
තවමත් නිෂ්පාදකවරයකු මුණ ගැසුණේ නැහැ. සයිමන් නවගත්තේගමයි මමයි එකතුවෙලා ‘සංසාරණ්‍ය අසබඩ’ කියලා තිර නාටකයකුත් ලිව්වා. දැන් සයිමන් මියගිහිනුත් අවුරුදු 10 ක් වෙනවා. ඒ තිරනාටකය ඇසුරෙන් තමයි ඔහු ඒ නමින් පසුව නවකතා පොතකුත් ලිව්වේ. ඇත්තම කිව්වොත් මට නිෂ්පාදකවරුන් කීප දෙනෙක් මුණගැහුණා. ඒත් කවුරු හරි කියනවා මං ‘යූ. ඇන්. පී.’ කාරයා. මිනිහා එක්ක වැඩ කළොත් ප්‍රශ්න ඇතිවෙයි කියලා. ඉතිං ඒ යෝජනාව එහෙමම යට යනවා. පසුගිය කාලේ අපේ රටේ තිබුණේ ඉතිහාස කතා රැල්ලක්නේ. ඉන් බොහෝමයක්ම ඉතිහාසය විකෘති කරපු චිත්‍රපට. මේකට විරුද්ධව කිසිම බෞද්ධ භික්ෂුවක්, ඉතිහාස ආචාර්ය, මහාචාර්යවරයෙක් කට ඇරියේ නැහැ. ඔවුන් හිතන්න ඇති එහෙම විවේචනය කරලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නවට වඩා ආගම දහම, ඉතිහාසය විකෘති වුණාට කමක් නැහැ කියලා.
* ඔබ කෙටිකතාකරණයට යොමු වුණේ සිනමාවෙන් කියාගන්න බැරිවුණු දේ එමඟින්වත් ප්‍රකාශ කරන්න ද?
එක අතකට ‘ඔව්’ කියලා කියන්න පුළුවන්. මගේ පරිකල්පනය මෙහෙයවෙන්නේ රූපයෙන්ම තමයි. තිරනාටකයක් ලියද්දි වුණත් සිද්ධ වෙන්නේ ඒ රූපමය සංකල්ප වචනවලට පෙරළීමක්. සිනමාවේදී ඒක යළි රූපයට නැංවෙනවා.
\සිනමානුරූපීව මැවෙන රූප සිනමාකරුවකුට තරම් අපුර්වත්වයකින් සාහිත්‍යකරුවකුට මැවේයැයි මා සිතන්නේ නැහැ. සිනමාකරුවන්ගේ සංකල්ප රූප හුඟක් ප්‍රබලයි. අනික මගේ කෙටිකතා සාම්ප්‍රදායික කෙටිකතා නෙමෙයි. ඒවා යථාර්ථයට එහා ගිය කෙටිකතා.

කොටු පැනීම


සුද්දා මුළු රටටම කොඩිය දැම්මේ 1815 දීය. එතනින් එහාට සිදුවූ හැම දෙයක්ම මිනිහ කළ ඒවා වන්නේය. එක්දහස් අටසිය ගණන්වල අග, සුද්දා ලංකාවේ නගර හදන්නට පටන්ගත්තේය. ඒ, එවකට සුද්දාට අයිති හැම කොලනියකටම ‍ෙපාදු වූ Grid - iron පැටන් එකටය. ඒ කියන්නේ; කොටුරූල් පොතක කොටු විදියටය. කොට්ට ඇතුළේ බිල්ඩින් තියනවාය. කොට්ට වටේ පාරවල් තියනවාය. පාරවල් දිගට කානු තියනවාය. සුද්දා කෙළින් මිනිහාය. ඒ මිනිහගේ වොයිස් එකය.
1920 වෙන විට එයැයිට ලෝකෙ හතර දිප්බාගෙම ඉඩන් කඩන් තිබුණේය. ඒ හැම එකක්ම කොට්ටා කාරවිය. ආසියාතික අපි ඉතින් රාමුවල හිරවෙන්නට කැමති අය නොවීමු. ඒ නිසා සුද්දාගේ පැටන් අපිට දිරෙව්වේ නැත. කොටු පැනීම සිදුවූයේ ඒ නිසාය.
මුලින්ම කොටු පැන්නේ, ඉන්දියාවය. ඒ විසිවැනි ශතවර්ෂ ආරම්භයේදීමය. ඊට පස්සේ අපිය. අපි පනින විටම වාගේ ඕලන්දක්කාරයන්නට අයිතිව උන් ඉන්දුනීසියාව ද පැන්නේය. මේ සියලු රටවලට පොදු වූ කාරණයක් තිබිණි. එකක්, අධිකව වර්ධනය වෙමින් පැවති නාගරික දිළිඳු ජනගහනයයි. අනෙක විධිමත් නාගරීකරණයයි. සාම්ප්‍රදායික රාමුවෙන් පිටපැනීම නිසා ඉන්දියාවේත් ඉන්දුනීසියාවේත් ශ්‍රී ලංකාවේත් ප්‍රධාන නගරවල දිගට හරහට “හායි-හූයි” කියා පැල්පත් ඉදිවෙන්නට පටන් ගත්තේය. ප්‍රධාන මංමාවත් දිගට බිල්ඩින් තැනුනේය. ඒ නිසා රට සංවර්ධනය වූයේ “පාරදිගේ” ය. දැන් ඒකට කියන්නේ Ribbon Development කියාය.
සුද්දාගේ කීමට පිටින් නොයමින් සුද්දාගේ හිත නොබිඳිමින් අදටත් කොටුව ඇතුළේම ඉන්න රටවල් තිබේ. මැලේසියාව ඉන් එකකි. එයාලට එහෙම “ඔබීඩියන්ට්” වෙන්නට හැකි වූයේ ජනගහනය අඩු වීමත්, ඕනතරන් ඉඩකඩන් තිබීමත් නිසාය.
අපිව රාමුවකට කොටුකර තබන්නට හිතූ පරසුද්දාට හොඳ වැඩේය. අපි ආර්ය රුධිරය සහිත අභිමානවත් ප්‍රතාපවත් නිදහස් ජාතීන්ය.
ඒත් වැඩේ කියන්නේ... සුද්දාගේ ශ්‍රී පැටන් එකෙන් පිටපැන අපේම අනන්‍යතාවක් සහිත නාගරික පැටන් එකක් තෝරා ගත්තද? සියලු ටවුන්වල වැහි වතුර කානු පද්ධති අදටත් තියෙන්නේ සුද්දාගේ පැටන් එකට අනුව වීමය. මේ නිසා පොඩ්ඩක් වැස්සත් ටවුම යට වෙන්නේය. බොරු නම් වැහි දවසට නුවර ටවුමට ගිහින් බලන්නය.
මොනවා වුණත් අපි ආර්ය රුධිරය සහිත අභිමානවත් ප්‍රතාපවත් නිදහස් ජාතීන්ය. අපිව කොටුකර තබන්නට සුද්දාට කවදාවත් බැරිය

මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ කිරි ගවයින් 40,000ක්‌ මස්‌ කඩේට

 

ජාතික වනෝද්‍යානයක්‌ තුළට නිසි අවසරයක්‌ සහිතව ඇතුළුවන ඕනෑම කෙනකුගේ මූලික අභිලාෂය වන්නේ එහි නිදහසේ සැරිසරන වන සතුන්ගේ අසිරිමත් හැසිරීම් රටා දැක බලා ගැනීමය. නෙක විසිතුරු ස්‌වාභාවික පරිසර පද්ධතියක නිහඬ නිස්‌කාංසුව මදකට හෝ අත්විඳීමය. එය පරිසර හිතකාමී බොහෝ දෙනෙක්‌ තුළ පහළ වන පොදු හැඟීමක්‌ බඳුය.

පසුගිය දින මාධ්‍ය මගින් වාර්තා වූ පුවතකින් කියවී තිබුණේ ජාතික වනෝද්‍යානයක්‌ සම්බන්ධව වෙනස්‌ම ආකාරයේ තොරතුරක්‌a ය. එහි සඳහන්ව තිබූ පුවතට අනුව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිටි කිරිගවයන්ගේ හිමිකරුවන්a නීතිය හමුවට පැමිණවීමත් ගව පට්‌ටි වනෝද්‍යානය තුළින් පිට කිරීමත් හේතුවෙන් කිරි ගවයන් පනස්‌ දහසකට ආසන්න සංඛ්‍යාවක්‌ මස්‌කඩ වෙත අලෙවි කරමින් පවතින බවය. එතැනදී "මස්‌" බවට පත්වන කිරි ගවයන්ගේ දිවි ගමන ඉන්a නිමාවට පත්වීමේ අවදානමක්‌ පවතින බවත් ය.

එය බොහෝ දෙදෙනකුගේ හද කම්පා කරවනසුලු පුවතක්‌ විය. ඒත් සමඟම ඒ සම්බන්ධව බොහෝ දෙනෙක්‌ තුළ පැනයක්‌ ද මතු විය. එය නම් මාදුරුඔය ජාතික වනෝද්‍යානය යනු සතා සීපාවුන් සඳහා වෙන්වූ අභයභූමියක්‌ ද නැතහොත් ගෘහාශ්‍රිතව ජීවත් වන කිරි ගව පාලනය සඳහා වෙන් කරන ලද වෙනස්‌ම ආකාරයේ "උද්‍යානයක්‌" පමණක්‌ ද යන්නය.

මාධ්‍ය මගින් වාර්තා කර තිබූ ආකාරයට වනජීවී දෙපාර්තමේන්තුව විසින් මාදුරුඔය ජාතික වනෝද්‍යාන භූමිය තුළට අනවසරයෙන් ඇතුල්කොට කිරි ගවයන් ඉන් පිට කිරීමේ මෙහෙයුම් මේ වන විට ද සිදු කරන අතර ගව හිමියන් අධිකරණය වෙත ඉදිරිපත් කොට ඊට දඬුවම් පවා ලබා දෙමින් ඇත. වනජීවී දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් හෙළිවන්නේ අභයභූමිය තුළට අනවසරයෙන් ඇතුල්කොට ඇති ගවයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් පනස්‌දහසත් හැත්තෑ දහසත් අතර අගයක්‌ ගන්නා බවත් ය.

දිගු කලක්‌ මුළුල්ලේ කිරි ගවයන් වනජීවී කලාප තුළට නීතිවිරෝධී අයුරින් ඇතුල් කිරීමත්, එසේ කරන ලද ගවයන් ඉන් පිටකර හැරීමත් සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් මෙතෙක්‌ ගන්නා ලද උත්සාහයන්, ඒවා අසාර්ථක වීමට මෙතෙක්‌ බලපෑ හේතූන්, ඒ හරහා මෙතෙක්‌ හෙළිදරව් නොවූ රහස්‌, මාදුරුඔය සිදුවීමත් සමඟ කරළියට පැමිණෙමින් තිබෙන අතර එය මුල, මැද, අග, හැකිතාක්‌ දුරට නිවැරැදිව ගලපමින් කළ යුතුව ඇති හෙළිදරව්වක්‌ බඳුය.

කොතෙක්‌ නීති අණපනත්a පැවතියද අප ජීවත් වෙමින් සිටින්නේ ඇතමුන් විසින් "අවනීතිය ද"නීතියක්‌ බවට පත් කර ගෙන ඇති රටකය. මෙතෙක්‌ මාදුරුඔය වනෝද්‍යානයේ අඳුරු අහුමුළු තුළ පමණක්‌ නොව එළිපිටම දොaංකාර දී ඇත්තේ ඉහත සඳහන් කළ අවනීතියේ ඉහිළුම් නොදෙන සුළු හඬය. ලැඡ්ජාවට කාරණයවී ඇත්තේ එය දේශපාලන කටහඬකින් නිකුත් වී තිබීමය. එය ද ගහකොළ සතා සීපාවුන් භාරව සිටි උත්තමයකුගේ වීම ලැඡ්ජා දෙගුණ තෙගුණ කරනසුළු විය. අවංකව රාජකාරියේ නිරතවීමේ "බෝනස්‌" ලෙස වැඩ තහනමට, සේවා මාරුවට බියෙන් මුළුගැන්වී සිටි වනජීවියේ මහත්වරු මෑතකදී සිදුවූ "බල පෙරළිය" හේතුවෙන් මේ වන විට සිටින්නේ ප්‍රාණයක්‌ ලද මිනිසුන් බවට පත්වෙමින්ය. හෙළිදරව් වන තොරතුරුවලට අනුව දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ඔවුන් නැවතත් රාජකාරියට දායක වෙමින්ය. ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ මාදුරුඔය ජාතික වනෝද්‍යානය නැවත වතාවක්‌ වන සතුන්ට උරුම කර දීමේ වෑයමකය.

වනජීවී පනතට අනුව රටේ කුමන හෝ ජාතික වනෝද්‍යානයක්‌ තුළට ගෘහාශ්‍රිත සතුන් එසේත් නැත්නම් හීලෑ කරන ලද සතුන් ඇතුල්කිරීම, රැගෙන යැම නීතියෙන් තහනම්ය. එය දඬුවම් ලැබිය හැකි වරදක්‌ය. සතෙකු පමණක්‌ නොව කුඩා පැළෑටියක තරමේ දෙයක්‌වත් අනවසරයෙන් රැගෙන යැමට කිසිවකුට අවසර නැත්තේ කාරණා කීපයක්‌ හේතුවෙන්ය. ඒ තුළින් වනයේ සරන සතෙකුට හෝ පරිසරයට යම් හානියක්‌ වේ නම් එය අවම කිරීමේ අදහසින්ය. එබැවින් වනජීවී කලාපයකට ඇතුල් වීම, ඉන් පිටවීම පවා සිදු කළ යුතුව ඇත්තේ නිසි අවසරයක්‌ සහිතවය. ඒ සඳහා මාර්ගෝපදේශන සේවයක්‌ ද වනජීවී දෙපාර්තමේන්තුව මගින් සපයන්නේය.

රටේ අනෙකුත් ජාතික වනෝද්‍යානයන් තුළ අඩු වැඩි වශයෙන් ද මාදුරුඔය ජාතික වනෝද්‍යානය කිරි ගවයන්ට ගිය උද්‍යානයක්‌ බවට පත් වන්නේ ද මේ කියන නියමයන්ට පරිබාහිරවය. මාදුරුඔය අලි ඇතුන් බහුලව ගම්වදින්නට ගත්තොත් අනෙක්‌ වන සතුන් හට අධිකව බඩගිනි දැනෙන්නේත් අවසානයේ මාදුරුඔය කිරි ගවයන්ගේ බිමක්‌a පමණක්‌ බවට පත් වන්නේත් එතැන් සිටය.

ජාතික වනෝද්‍යාන තුළට නීතිවිරෝධී අයුරින් ගවයන් ඇතුල් කිරීම කලක පටන් සිදුවන්නේය. ගව හිමියන්ගේ බලපුළුවන්කාරකම් දේශපාලන දැන හැඳුනුම්කම් සහ කලාතුරකින් හමුවන දූෂිත නිලධාරීන්ගේ කැමැත්ත මත සිදුවන මෙවැනි විපත්වලින් පරිසරය සහ පරිසරයේම කොටසක්‌ වන වන සතුන් බේරා ගැනීම පිණිස රාජකාරිය දේවකාරිය සේ සලකන නිලධාරීන් එදත් අදත් නිරන්තර අරගලයකය. බොහෝ විට එවැනි දේ සීමා කිරීමට ඔවුන් සමත් වුවත් මුළුමනින් නතර කර දැමීම පහසු කාර්යයක්‌ නොවීය. එසේ කිරීමට උත්සාහ කළ ඇතැමෙක්‌ ගෙදරම ගොස්‌ නතර වූ අතර ඇතැමෙක්‌ ස්‌ථාන මාරුවීමකින් හෝ වෙනත් කුමන හෝ කරුණකින් බැට කන ලදී. මාදුරුඔයට දහස්‌ ගණනින් යුත් ගව පට්‌ටි ඇතුළු කිරීම ආරම්භ වන්නේද ඔය කියන වටපිටාව තුළය. ඒ මීට වසර දෙක තුනකට එපිටය. ප්‍රදේශයේ ප්‍රබලම දේශපාලන හස්‌තයක්‌ තිරය පිටුපස විය. බිය වැද්දීම්, තර්ජනය කිරීම් හමුවේ වනයත් එහි ඇති අසිරියත් රැක ගැනීම පිණිස දිවා රෑ වෙහෙසෙන වනජීවී නිලධාරීන් නිහඬ කරවන්නේද ඔය කියන ලද දේaශපාලන හස්‌තය විසින්ය.

ඇමැතිවරයා යනු දේශපාලන සත්ත්වයකු බැවින්ද ඔහුට මැතිවරණ ජයග්‍රහණ සඳහා "මනාපය" අත්‍යවශ්‍ය සාධකයක්‌ වන බැවින් ද හෙළිදරව් වන ආකාරයට මාදුරුඔය වනෝද්‍යානය වටා ඇති අලි වැට හෙවත් විදුලි වැට ඈත් මෑත් කර කිsරි ගවයන් රක්‍ෂිතය වෙත දක්‌කනු ලබන්නේ ඔහුගේ අණට බය පක්‍ෂපාත ඔහුගේම ගෝලයන් විසින්ය.

එතැන් සිට සිදුවන දෑ පැවසීමට මාදුරුඔය ඇතුළු රටේ විවිධ ප්‍රදේශයන්හි වනජීවී අත්දැකීම් සහිත පුද්ගලයකු ඉදිරිපත් වූ අතර තමන්a ඇතුළු අනෙකුත් සහෝදර නිලධාරීන් ලබා ඇති අත්දැකීම් ඇසුරෙන් ඔහු ඉතිරිය පවසන්නට විය.

"හරක්‌ අයිතිකාරයෝ කරන්නේ විවිධ සම්බන්ධකම් හදාගෙන ඔයවිදියට තමන්ගේ පට්‌ටිය අභයභූමි තුළට ඇතුල් කරන එක. බොහොමයක්‌ අභයභූමිවල වැවෙන "අලි මානා" ගවයන්ට හොඳ ආහාරයක්‌ (අලි මාන යනු තෘණ විශේෂයකි) කැලේ ජීවත්වන අලියට. කොළ ජාති ආහාරයට ගන්න වෙනත් සතුන්ට කන්න ඉබේ වැවෙන අලිමාන ටික හරක්‌ කන්න ගත්තට පස්‌සේ කැලේ සත්තුන්ට ආහාර නැතිව යනව. අලිය අලි මාන, කෑවට හොඬවැලට අහු නොවෙන ටික ඉතුරු වෙනව. හරක්‌ උලා කනකොට එහෙම ඉතිරි වෙන්න දෙයක්‌ නෑ. එක පට්‌ටියේ තුන් හාර සීය ඉන්න හරක්‌ මුළු පළාතෙම තියෙන අලි මානා කන්න ගන්නව. විශාල පට්‌ටි කැලේ සැරි සරන කොට උන්ගේ කුරවලට පස බුරුල්වෙලා පාංශු ඛාදනය ඇති වෙනව ගොම ගව මුත්‍රා හේතුවෙන් පරිසරය විනාශ වෙන්න ගන්නව. ඊට අමතරව වන සතුන්ගේ නිදහස්‌ ජීවන රටාව උන්ට අහිමි වෙනවා.

ඒක වෙන්නේ මෙහෙමයි. කැලේට හරක්‌ දක්‌කන මිනිස්‌සු කරන්නේ හරක්‌ ටික එක්‌කම කැලේට ඇවිල්ල ඒ අය "වාඩි" ගහගන්නව. මේ පට්‌ටිවල ඉන්න ගවයන්ට වගේම ඒ මිනිස්‌සුන්ටත් කැලය හොඳට හුරුයි. ඔහොම සති ගණන්, මාස ගණන් කැලේට වෙලා ඉන්නකොට කැලේ ඉන්න කුළු හරක්‌ පට්‌ටියෙ ඉන්න මී දෙනුන් සමග පට්‌ටි වැටෙන්න ගාලට ළං වෙනවා. එහෙම ළං වුණ ගමන්ම හරක්‌ බලන මිනිස්‌සු කරන්නේ "ගාලෙ" කඩුල්ල වහල කුළු හරක්‌ව මෙල්ල කරන එක. ඒකට හරක්‌ බලන මිනිස්‌සු උපන්ගෙයි දක්‍ෂයෝ. කුළු හරකගේ පස්‌ස ගාතයට කකුල තියල ඌව මෙල්ල කරන්න මේ අය දක්‍ෂයෝ. ඒකට පට්‌ටියේ ඉන්න ගවයන්ගෙන් ප්‍රයෝජන ගන්නව. ඒකට පුරුදු පුහුණු කරපු හීලෑ ගවයෝ ඔය කියන පට්‌ටියෙම ඉන්නව. එහෙම මෙල්ල කරන කුළු හරක්‌ව කඹ දාලා බැඳලා දවස්‌ හය හත වතුර ටිකක්‌වත් නැතුව ගැටගහල තියෙන කොට බඩගින්නට පිපාසයට උන්ම අඩපන වෙන්න ගන්නවා.

ඊට පස්‌සේ මේ අය කරන්නේ උන්ව හණ ගහන එක. එහෙම හණ ගහල අලුත් මස වැහෙන්න අළු ගහනව. දැන් කුළු හරකත් පේන්නේ ගව පට්‌ටියෙම ගවයෙක්‌ විදියට. එහෙම කරන කුළු හරක්‌ව ඊළඟට කරන්නෙ මස්‌ කඩයට විකුණන එක. එක කුළු හරකෙක්‌ව රුපියල් තිස්‌ හතළිස්‌ දාහට විකුණනව. එහෙම කරන්න ඕන හින්ද තමයි මෙල්ල කරපු හැටියෙම හණ ගහන්නේ. ඒ දවස්‌වල වන ජීවියෙන්a මේව නතර කරන්න කොච්චර උත්සාහ කළත් ඒවට ඉඩ ලැබෙන්නේ නෑ. මේ දේවල් කොහොම හරි වෙනව."

"අනික තමයි නීතිය ක්‍රියාත්මක කරල වන ජීවියෙන් රක්‍ෂිත ඇතුළේ ඉන්න හරක්‌ව එළියට දැම්මෙ නැතත් ගවයන්ගේ අයිතිකාරයෝ පට්‌ටියෙ ඉන්න තෝරාගත් ගවයන්ව මස්‌ කඩේට විකුණනව. සාමාන්‍යයෙන් පැටව් බෝ කරන්න ගව පට්‌ටියක පිරිමි සත්තු දෙතුන් දෙනෙක්‌ හිටියාම ඇති. ඒත් පට්‌ටියක්‌ ගත්තම පිරිමි සත්තු ඕන තරම් ඉන්නව. වනජීවියෙන් එළියට දැම්මත් නොදැම්මත් උන්ගේ ජීවිතය නිමා වෙන්නේ මස්‌ කඩෙන්."

"ගව පට්‌ටි අභයභූමි ඇතුළේ ගාල් කිරීම හේතුවෙන් පරිසරයට තවත් ලොකුම හානියක්‌ වෙනව. ඒක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අලි මාන කිsයන්නේ ඉබේ වැවිල ඉබේම විනාශ වෙන තෘණ වර්ගයකට. මේකට ගිනි තිබ්බොත් බටගාලට ගිනි ඇවිළුණා වගෙයි මුළු පළාතෙම තියෙන අලිමාන දැවිල පිච්චිල යනව. අලිමාන ආපසු වැඩෙන්න නම් පුච්චන්න ඕන. කැලේට වෙලා ගව පට්‌ටි බලාගන්න මිනිස්‌සු කරන්නේ ඉවක්‌ බවක්‌ නැතිව මේව පුච්චන එක. එහෙම පිච්චුනාම එක සීරුවට ආපහු අලි මාන වැවෙන්න ගන්නව. ඒ දල්ල ගවයන්ට හොඳකෑමක්‌. හැබැයි ඒකෙන් පරිසරයට වෙන හානිය ඉවරයක්‌ නැ. කුඩා කුඩා සතුන් වර්ග විශාල ප්‍රමාණයක්‌, සර්පයන්, ඉබ්බං වර්ග රාශියක්‌ කුරුල්ලන්, කුරුලු බිත්තර විශාල වශයෙන් මේ ගින්නෙන් විනාශ වෙන්න ගන්නව. කැලේ ජීවත් වෙන සතුන්ට කෑම නැතිවෙනවා. අලි ගම් වදින්න ගන්නව. මිනිස්‌සු කරන විනාශ හින්ද පරිසර පද්ධතියම විනාශවීම හේතුවෙන් දිනෙන් දින ඒවායේ තියෙන වටිනාකම් නැති වෙන්න ගන්නව. මේ දේවල් නතර කරන්න උත්සාහ කරන නිලධාරීන් විවිධ පීඩනයන්ට ලක්‌වෙන හින්දා ඒ අයට කරන්න දෙයක්‌ නැති හින්ද මේව දිගින් දිගටම වෙන්න ගත්ත".

ඔය අතරේ වන සතුන් දඩයමට ලක්‌වෙනවා. එන්න එන්නම මේ තත්ත්වය ඉහළ යද්දී තමයි වනජීවී දෙපාර්තමේන්තුව මේ වන විට නීතිවිරෝධී ලෙස අභයභමි වල ගාල් කරගෙන ඉන්න කිරිගව පට්‌ටි එළියට දාන්න මෙහෙයුම් ආරම්භ කරල තියෙන්නේ. මෙච්චර කාලයක්‌ දේශපාලන බලපුළුවන්කාරකම හින්ද ඒ දේවල් හරිහැටි කෙරුණේ නෑ.

"අභයභූමි ආරක්‍ෂා කිරීම, ඒව මතු පරපුර වෙනුවෙන් රැක බලාගැනීම වනජීවීයේ වගකීමක්‌. මේව දකින ඇතැම් අය චෝදනා කරන්න පුළුවන් වනජීවී මහත්වරුන් මේවට හවුල් කියල. එහෙම නිලධාරීත් නැතුව නෙමෙයි. දේශපාලන හයියත් එක්‌ක ඇතැම් වනජීවී නිලධාරීන් ඇතැම්විට මේ අපරාධවලට හවුල් වෙනව ඇති. හැබැයි බහුතරයක්‌ එහෙම නෙවෙයි. ඒ අය රාජකාරිය හරියට කරන්න උත්සාහ ගත්ත. හැබැයි ඒක හරියට කරගන්න බැරි වුණා. අන්තිමට වුණේ වන සතුන් ආරක්‍ෂා කරගන්නව වෙනුවට ඒ අයගේ රස්‌සාව ආරක්‍ෂා කරගත්ත වෙච්ච එක විතරයි.

කලක්‌ අභයභමි තුළට ගවපට්‌ටි ඇතුල් කිරීම අවම කිරීමේ අරමුණින් ඉන් පිටත සීමාවේ තෘණ භූමි ඇති කිරීමට බලධාරින් උත්සාහ ගෙන ඇතත් එය ගඟට ඉනි කැපුවා වගෙයි. ගව හිමියන් විසින් ගව පට්‌ටි සම්බන්ධව නිවැරැදි තොරතුරු ලබා නොදීම හේතුවෙන් ප්‍රමාණවත් වපසරියකින් යුත් තණබිම් සැකසීමට අපහසු වීම එයට හේතුව වී ඇත. වනජීවී නිලධාරීන් පවසන්නේ එය ගව හිමියන්ගේ උපක්‍රමයක්‌ බවයි. ගවයන් අභයභූමි තුළ ගාල් කිරීමෙන් ලැබෙන අමතර වාසි නොලැබී යැම එයට හේතුව වී ඇති බව වනජීවී නිලධාරීන්ගේ මතය වී ඇත.

මේ වන විට මාදුරුඔයෙන් හෙළිදරව් වෙමින් පවතින්නේ මෙතෙක්‌ කල් නීතිය "අවනීතියක්‌" බවට පත් කරගත් ඇතැම් ගව හිමියන්ගේ කැත හිරිකිත නිරුවතය. ජාතික වනෝද්‍යානයක්‌ යනු කිරි ගව පාලනය සඳහාවත් ඒ මුවාවෙන් වෙන වෙනත් ජාවාරම් සඳහාවත් වෙන් කරන ලද භූමියක්‌ නොවන අතර එය වන සතුන් නිදහසේ සැරිසරන පාරාදීසයක්‌ විය යුතුය. දැන් සිදුවෙමින් ඇත්තේ අභයභූමි තුළට ගෘහාශ්‍රිත සතුන් ඇතුළත් කිරීමෙන් සිදුවන පාරිසරික හානි අවම කරවීම සඳහා අත්‍යවශ්‍යයෙන් ම සිදු කළ යුතු මෙහෙයුම්ය. සංඛ්‍යා ලේඛන සහිතව රටට හෙළිදරව් වෙමින් පවතින්නේ මෙතෙක්‌ කලක්‌ සිදු කොට ඇති වරදේa බරපතළකමය.

මාදුරුඔය ජාතික වනෝද්‍යනය යනු ජාතිය සතු සම්පතක්‌ බැවින් එය ආරක්‍ෂා කිරීම අදාළ නිලධාරීන්ගෙන් මෙන්ම ආයතනවල ද වගකීම වන්නේය. මේ වන විට දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව නීතිය අකුරට ක්‍රියාත්මක වෙමින් පවතී. එය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රාජකාරිය වී ඇත. ඔවුන්ගේ වගකීම වී ඇත්තේ නීතිවිරෝධී ආකාරයෙන් වනජීවී කලාපයට ඇතුල් කොට ඇති ගව පට්‌ටි ඉන් පිටත් කොට එහි ඇති පාරිසරික වටිනාකම ආරක්‍ෂා කරදීමය. ඉන් අනතුරුව ගව පට්‌ටි හෝ ගව හිමියන්ට මුහුණ පෑමට සිදුවන ගැටලු සම්බන්ධව වනජීවියට "ගැටලුවක්‌" නැත.

තමන්ගේ රාජකාරි භූමි සීමාවෙන් ගෘහාශ්‍රිතව ඇති කරන ලද ගවයන් පිට කිරීමෙන් අනතුරුව වෙනත් පිරිසක්‌ විසින් උන් රැගෙන යන්නේ "මසටද" අලෙවි වන්නේ කුමන මිලකටද එලෙස පිට කරන ලද ගව පට්‌ටිවලට අයත් ගවයන් කොපමණ ප්‍රමාණයකට "මරණය" හිමිවේද යන්න සොයා බැලිය යුත්තේ පොලිසිය සමග එක්‌ව කිරිගව පාලනයට සම්බන්ධ ආයතන මිස වනජීවී දෙපාර්තමේන්තුව නොවිය යුතුය. සැලසුම් සහගතව අභයභූමි වෙත ඇතුල් කරන ලද ගව පට්‌ටි යොදා ගන්නේ කිරිගව පාලනය සඳහා පමණක්‌ම ද වෙනත් කාරනාත් එයට අදාළ ද යන්න සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් දීම ජාතික වගකීමක්‌ විය යුත්තේත් මේ වන විට එය ක්‍රියාවට නැඟෙමින් පැවතීම අගය කළ යුතුව ඇත්තේත් අනාගත යහපත පිණිසය. එසේ නොවන්නේ නම් අනාගතයේදී ජාතික වනෝද්‍යානයක්‌ තුළට පිවිසෙන ඕනෑම කෙනෙකුට දැක ගැනීමට ලැබෙන්නේ හේඩෑව ගිය වනෝද්‍යාන තුළ උලාකන කේඩෑරිව ගිය ගවයන් රංචු පමණය.

රුවන් ජයවර්ධන

අමාලි සරසවියෙන මරුතුරුළට රැගෙන ගියේ නවකවදයද?


හදිසි අනතුරු, යෞවන වයසේ පුද්ගල සියදිවි හානිකර ගැනීම් සහ අකාලයේ මියපරලොව යන වටිනා ජීවිත ගැන අපට ඕනෑ තරම් අසන්නට ලැබේ. දිනපතා පළවන පුවත්පතක එවැනි තොරතුරු නොමැති පුවත්පතක්‌ සෙවීම හරියට කිසාගෝතමිය නොමළ ගෙයකින් අබ මිටක්‌ සොයාගියා වැන්නකි. එවැනි පසුබිමක පසුගිය සතියේදී ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගත් අමාලි චතුරිකාගේ මරණය බොහෝ දෙනාගේ කතාබහට ලක්‌වූ විවාද සම්පන්න මාතෘකාවක්‌ බවට පත්වූ බව පෙනුණි. එය එසේ වූයේ ඇය සරසවි ශිෂ්‍යාවක නිසාම නොවේ. ඇගේ සියදිවි හානිකර ගැනීමට තුඩුදුන් බව සැක කෙරෙන හේතූන් සහ ඊට පරස්‌පර විරෝධී හේතු කාරණා විවිධ පාර්ශ්ව මගින් දැන් දැන් හෙළිවෙමින් තිබෙන බැවිනි.

අමාලි චතුරිකා තමන්ගේ ජීවිතය තොරකර ගැනීමේ මේ දැඩි තීරණයට එළැඹෙන්නේ සබරගමුව සරසවියේ ව්‍යවහාර විද්‍යා පීඨයේ දෙවැනි වසර ශිෂ්‍යාවකව සිටියදීය. ඉකුත් 17 වැනිදා පෙරවරුවේ ඇය මේ විනාශය කරගන්නා විට නිවසේ කිසිවකුත් නොසිට තිබේ. ඒ වන විට ඇගේ මව වසන්ති ඇල්විටිගල රැකියාවට පිටත්ව ගොසිනි. තමන්ගේ දියණිය මීට පෙර අවස්‌ථා දෙකකදීම සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බව කියන ඇය අමාලිගේ මරණය සම්බන්ධයෙන් මේ කියන කතාව මේ සිද්ධිය හා බැඳි එක්‌ පැතිකඩක්‌ හෙළි කරන්නකි.
 
දුව කැම්පස්‌ එකේ "රැග්" එක නිසා කැම්පස්‌ ගිය දවසෙ ඉඳන් ගොඩක්‌ දුකින් හිටියෙ. එයාගෙ ඉස්‌කෝලෙම යාළුවෙක්‌ මැදිහත්වෙලා දිගින් දිගටම එයාට රැග් කරනවා කියල දුව නිතර කිව්වා. ඒ ළමයි දෙන්නත් දුවත් එක්‌කම එකම පන්තියෙ ඉගෙන ගත්ත අය. සමහර දවස්‌වලට මේ නිසා එයාට ආයෙත් කැම්පස්‌ යන්න බෑ කියල කිව්ව. ඒ තරමට දුවට කැම්පස්‌ එක ගැන කලකිරිල තිබුණේ. සමහර විට දුව මට කීව දේට වඩා ගොඩක්‌ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ ගැන ඇහුවත් මොන හේතුවක්‌ නිසාද මන්දා මට ඒවා හෙළිකළේ නැත්තෙ. අඩුම ගානෙ අනිත් ළමයි එක්‌ක කතා කරන්නවත් දෙන්නෙ නැතිව දුවව කොන් කරලයි තිබුණෙ. මේ ප්‍රශ්න නිසා වෙනත් විශ්වවිද්‍යාලයකට යන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලීමක්‌ කළත් ඒකටත් ඉඩ ලැබුණෙ නෑ. මම කිව්වා දුවට කැම්පස්‌ යන්න බැරි නම් ගෙදර ඉන්න කියල. ඒත් එයාට කොහොම හරි උපාධිය කරගන්න ඕන ආසාව තිබුණා.

අමාලිගේ මව එසේ කීවේ දියණියගේ මරණයට විශ්වවිද්‍යාලයේ නවකවදය හේතුවක්‌ වූ බව හඟවමිනි.

චතුරිකාට පැමිණි මේ කරදර නිසා ඇය විශ්වවිද්‍යාලයේ නේවා සිකව නොතබා අසල නිවසක නතර කිරීමටද මේ මව පියවර ගෙන තිබේ. ඒ අතරතුරදී ඇයට නවකවදය දෙන බවට කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයෙන් පරීක්‍ෂණයක්‌ද පවත්වා ඇත. නමුත් චතුරිකාගේ මවගේ ඉල්ලීම පරිදි එම පරීක්‍ෂණයද නවතා දමා තිබේ. ඇයද එවැන්නක්‌ සිදුවූ බව පිළිගන්නීය.

නමුත් මේ කතාවේ අනෙක්‌ පැතිකඩ නම් සබරගමු සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨාධිපති සහ උපකුලපතිවරයා මාධ්‍යයට අමාලි චතුරිකා ශිෂ්‍යාව සම්බන්ධව කර ඇති හෙළිදරව් කිරීමය. එම තොරතුරුවලට අනුව අමාලි චතුරිකා කලක සිට මානසික ආතතියෙන් පීඩා විඳි ශිෂ්‍යාවකි. එම රෝගය නිසා ඇය විශ්වවිද්‍යාලයේ උපදේශක සේවාවන්ටද යොමුකර ඇත. රෝගී තත්ත්වය නිසා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුද ඇයට අතපසුව තිබෙන අතර ඒ නිසා නැවත වරක්‌ පළමු වසරේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමටද ඇයට විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් අවසර ලැබී තිබේ. සබරගමු සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය උදය රත්නායක මේ සම්බන්ධයෙන් හෙළිකරන තොරතුරු වැදගත්ය.

"ඔය ළමයා විශ්වවිද්‍යාලයට ආවේ ගිය වසරේ නේවාසිකාගාරයේදී මෙයා අමුතු විදියට හැසිරෙන්න පටන් අරගෙන තියනවා. මේ ගැන වාර්තා වුණාට පස්‌සේ ළමයගෙ අම්මා ගෙන්නල ගෙදර යෑව්වා. පස්‌සේ බෙහෙත් කරල හොඳවෙලා නැවත ආවා. ඔය විදියට කීප වාරයකදීම ආව ගියා. මේ ශිෂ්‍යාව ආව මුල් දවස්‌වල එක එක ප්‍රශ්න හදාගත්තා. සමහර අවස්‌ථාවලදී ඒ ගැන කියන දේ එකිනෙකට පරස්‌පරයි. ගැලපෙන්නෙ නෑ. මේ තත්ත්වය නවකවදය නිසා ඇතිවුණ දෙයක්‌ද කියල බලන්න අපි පරීක්‍ෂණයක්‌ සිදුකළා. ඒත් ඇගේ මවගේ ඉල්ලීම මත ඒ පරීක්‍ෂණය අතරමඟ නතර කළා. මවගේ ඉල්ලීම වුණේ මෙතනින් එහාට පරීක්‍ෂණ අවශ්‍ය නෑ. ඉගෙන ගන්න අවශ්‍ය පරිසරය හදල දෙන්න කියල. ඒ සිද්ධියෙන් පස්‌සෙ කිසිම පැමිණිල්ලක්‌ ලැබුණෙ නෑ. නමුත් ලෙඩ නිසා රෑට පාඩම් කරන්න බෑ කියල වසරක නිවාඩු අයෑදුම් කර තිබුණා. මේ සිද්ධිය වෙනකොට මේ ශිෂ්‍යාව නිවාඩු ගෙන හිsටියෙ.

මහාචාර්ය උදය රත්නායක හෙළිකර ඇති මේ තොරතුරුවලට අනුව අමාලි චතුරිකා විශ්වවිද්‍යාලයට පැමිණි කාලයේ පටන්ම ඇය මානසික ආතතිය රෝගයෙන් පීඩා විඳ තිබේ. නමුත් ඇය මේ රෝගයට ගොදුරු වීමට ලක්‌වූයේ නවකවදය නිසාද නැත්නම් ඊට පෙර සිටම ඇය එම රෝගයෙන් පෙළුණේදැයි මේ කිසිදු ප්‍රකාශයකින් ගම්‍ය නොවේ. ඇය සියදිවි හානිකර ගන්නා දිනයේද එයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කළුබෝවිල රෝහලට යායුතුව තිබූ බව චතුරිකාගේ මව ප්‍රකාශ කරන්නීය.

එයා රැග් එකට අහුවුණා කියලා පසුගිය අවුරුද්දෙ විශ්වවිද්‍යාලෙ යන එක අත්හරින්න උත්සාහ කළා. පස්‌සෙ මානසික පීඩාවට දිගටම බේත් ගත්තා. මරණය සිද්ධ වුණ දා උදේ ක්‌ලිනික්‌ යන්න හිටියෙ. එයාට තව පොඩ්ඩක්‌ ඩොක්‌ටර් එක්‌ක කතා කරන්න ඕන කියල තිබුණා.

එසේ ප්‍රකාශ කරන්නේ චතුරිකාගේ මවයි. කුඩා කාලයේදීම පිය සෙනෙහස අහිමිවන මේ දියණියව ඉතා දුක්‌ මහන්සියෙන් උගන්වා ලොකු මහත් කර ඇත්තේ ඇගේ සවි ශක්‌තියෙනි. කොට්‌ටාව ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇය සරසවි වරම් ලබන්නේ දේවි බාලිකාවෙන් උසස්‌ පෙළ හදාරමිනි. තමන්ගෙ තනි නොතනියට සිටි මවගෙ සිහින බලාපොරොත්තුද ඇය මතුදාක රැකබලා ගැනීමේ වුවමනාවද චතුරිකාට නොතිබුණා නොවේ. එහෙත් ඒ සිහින පවුරු එක මොහොතකදී බිඳින ඇය තම මවද මෙලොව තනිකර දමා සියදිවි හානිකර ගනී. ඒ ඇගේ අවසන් කැමැත්ත ලෙස මෙලෙස ලිපියක්‌ද ලියා තබමිනි.

"මගේ මිනිය පුච්චන්න. පුළුවන්නම් බොරැල්ල කනත්තෙදි. ඒ තමයි අදටත් මම දේවි මාතාවට ආදරේ නිසා. ඒ ආසන්නයෙ වළලන්න ඇති කැමැත්ත. මගේ මේ පොත් සේරම මගේ මිනියත් එක්‌ක පුච්චන්න. මගේ ලැප් එකයි, ටැබ් එකයි, ෙµdaන් එකයි තරින්දට දෙන්න. මගේ පොත්වල තියන සල්ලි වලින් අවසන් කටයුතු චාමෙට කරන්න. කිසිම සබරගමුව කැම්පස්‌ එකේ ළමයෙක්‌aට මගේ අවමංගල්‍යයට සහභාගි නොවන ලෙස තරයේ ඉල්ලා සිටිනවා. මට කිසියම් උරුමයක්‌ තියෙනවා නම් ඒ සියල්ල මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කරන්න.

එසේ ලියා තැබූ ඇය තමන්ගේම සාරිය ගෙල වැලලාගෙන මියගොස්‌ තිබේ. සබරගමු සරසවි සිසුන්ට අවමංගල්‍යයට සහභාගි නොවන ලෙස කර ඇති ප්‍රකාශය ඇය එම විශ්වවිද්‍යාල සිසුන් සමග දැඩි පිළිකුලකින් පසු වූ අයුරු සනාථ වන කරුණකි. යම් හෙයකින් ඇය සියදිවි හානිකර ගත්තේ මෙම කරුණ නිසාම නම් යළිත් එයින් හෙළිවන්නෙ මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ නිරුවත් කමයි. මේ ක්‍රමය තුළ විශ්වවිද්‍යාලය දක්‌වා ඉගෙන ගන්නා උගත් ශිෂ්‍යාවකගේ ජීවිතය පිළිබඳ ඇති තක්‌සේරුව එය නම් අපේ රටේ අධ්‍යාපනයෙන් සිදුවන්නේ කුමක්‌දැයි අපට නොතේරේ. එක්‌ මාර්ගයක්‌ අවහිර වන විට විකල්ප මාර්ග නොතිබෙන හිස්‌ තැනකට මනස වැටීමටද ජීවිතයෙ ප්‍රශ්න දරා ගැනීමේ ශක්‌තිය නොමැති වීමද ඇගේ වරදක්‌ නොව ඇය සකස්‌ කළ මේ ක්‍රමයේ වරදකි. සරසවි ශිෂ්‍යාවක වන චතුරිකා පමණක්‌ නොව අපට දිනපතා ඇසෙන සියදිවි නසා ගැනීම් බොහොමයක ඇතුළාන්තයෙන් හඬගා කියන්නේද එයයි.

ශ්‍රී ලංකාවේදී තහනම් කළ ඉන්දියානු සඟරාවේ පළ වූ ප්‍රභාකරන්ගේ සාකච්ඡාව මෙන්න...


මේ වසරේ පෙබරවාරි 6 වැනිදා ඉන්දියාවේදී නිකුත් වූ Frontline සඟරා කලාපය ශ්‍රී ලංකාවට ගෙන්වූ විට ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගය පරිදි වෙළෙඳපොළට නිකුත් නොකර රඳවා ගන්නා ලදැයි වාර්තා විය. එයට හේතුව 1987 අගෝස්‌තු මාසයේ දෙවැනි සතියේදී Frontline සඟරාවේ සහ Hindu පුවත්පතේ ලේඛක ටී. එම්. සුබ්‍රමානියම් විසින් යාපනේ රහසිගත ස්‌ථානයකදී ප්‍රභාකරන් හමුවී පුරා පැයක කාලයක්‌ තුළ දෙමළ භාෂාවෙන් කරන ලද සාකච්ඡාවක්‌ Frontline සඟරාවේ පෙබරවාරි 6 වැනිදා කලාපයේ නැවත පළ වීමය (මෙය පළමු වරට පළවූයේ 1987 අගෝස්‌තු 2 වැනිදා නිකුත් වූ Frontline කලාපයේය.) ඊලාම් රාජ්‍යයක්‌ වෙනුවෙන් දිගටම සටන් කරන බව ප්‍රභාකරන් එම සාකච්ඡාවේදී පැවසීය. එසේම ඉන්දු ලංකා ගිවිසුමෙන් එල්.ටී.ටී.ඊ. ය අමාරුවේ වැටුණු හැටිද ඔහු පෙන්වා දුන්නේය. ආරක්‍ෂක අමාත්‍යාංශය Frontline රඳවා ගන්නා ලද්දේ එම කරුණු නිසා විය හැකිය. කෙසේ වුවද එම සඟරාව නිදහස්‌ කර වෙළෙඳපොළට යෑවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ නියෝග කළ බව ඉකුත් සතිය මැදදී වාර්තා විය. පහත පළවන්නේ ප්‍රභාකරන්ගේ එම සම්මුඛ සාකච්ඡාවේ පළමුවැනි කොටසය.

Frontline සඟරාව - 1986 දී වඩමාරච්චි මෙහෙයුමට යද්දී එම මැයි 26 වැනිදා ඔබ වැල්වැටිතුරේදී හමුදාවට කොටු වූ බවත්, පසුව පැනගත් බවත් පුවත්පත්වල පළවුණා. මෙය ඇත්තක්‌ද?

ප්‍රභාකරන් - (සිනාසෙමින්) - මැයි 25 වැනිදා රාත්‍රියේදී මම යාපනයට ගියා. හමුදාව පසුදින උදැසන වැල්වැටිතුරේට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තා. ඔවුන් වැල්වැටිතුරේට ගැහුවේ මා එහි ඉන්නා බව හිතාගෙනයි.

Frontline - ඉන්දු - ලංකා ගිවිසුම ගැන ඔබ හිතන්නේ කුමක්‌ද?

ප්‍රභාකරන් - ගිවිසුමේ සඳහන් අන්දමට, උතුර - නැගෙනහිර දෙපළාත එක්‌ කිරීමට ජනමත විචාරණයක්‌ පැවැත්විය යුතුයි. ඒ එක්‌කම ගිවිසුමේ එනවා ජනමත විචාරණයේදී සුළු ප්‍රමාණයකින් පවා ජයගත හැකි නම් ඒ සුළුතර ජයග්‍රාහකයාට ජයග්‍රහණය හිමිවනවා කියලා. (එනම් තුනෙන් දෙකක බලයක්‌ හෝ හතරෙන් තුනක බලයක්‌ නොව සියයට එකක බලයකින් පවා ජයග්‍රාහකයා තීරණය කළ හැකි බවයි. පරිවර්තක) උතුර සහ නැගෙනහිර එකතු කිරීම ගැන ප්‍රශ්නයක්‌ නැහැ. එය අපගේ මාතෘ භූමියයි. මේ ගැන කිසිදු සාකච්ඡාවක්‌ කර වැඩක්‌ නැහැ.



තවත් ගැටලු තිබෙනවා. අපි දන්නා පරිදි ඉන්දු ලංකා ගිවිසුම කියන්නේ ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක්‌. 1983 දී උතුරු නැගෙනහිර ප්‍රදේශවල තිබුණේ ලක්‌ රජයට අයත් හමුදා කඳවුරු කිහිපයක්‌ පමණයි. අද (1987) හමුදා කඳවුරු 200 ක්‌ එහි තිබෙනවා. මේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැතිව ඒ ප්‍රදේශවල තිබෙන සිංහල ජනාවාස ඉවත් කරන්නට බැහැ. ඒ සිංහල ජනපදවලට නීත්‍යානුකූල පදනමක්‌ ලැබෙන්නේ හමුදා කඳවුරු වෙතින් ලැබෙන හයිය නිසයි. මේ කඳවුරු ඉවත් කරන්නට අවශ්‍ය ප්‍රතිපාදන ගිවිසුමේ නැහැ. සිංහල ජනාවාස (ඇතිවීම) වළක්‌වන්නටත් ම්ලේච්ඡ සිදුවීම් හට ගැනීම වැළැක්‌වීමටත් ඉන්දියානු හමුදාව එම ජනාවාස තිබෙන ප්‍රදේශවල සිටිය යුතුයි.

ඒත් පුදුමය වන්නේ යාපනේ අර්ධද්වීපය තුළ හෝ අලිමංකඩින් එහාට කිසිදු ඉන්දියන් හමුදා කඳවුරක්‌ නොවීමයි. කොහොම නමුත් කොඩිකාමම්, අච්චුqවේලි, පලෙයි, වන්නන්කර්නි, යකච්චි හන්දිය, තලයියාදි වෙරළ ප්‍රදේශය, පණ්‌ඩතරිප්පු, කන්කසන්තුරේ ප්‍රදීපාගාරය යන තැන්වල නම් ඉන්දියන් හමුදා කඳවුරු අද තිබෙනවා. මේ තැන්වල සිංහලයන් නැහැ. ඒ නිසා ඉන්දියන් හමුදා කඳවුරු අවශ්‍ය නැහැ. ඒත් මේ තැන්වලමයි ඉන්දියන් හමුදාව ඉන්නේ.

අප කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කඳවුරු 200 ඉවත් කළ යුතු බවයි. ඒ අතර ඉන්දියන් හමුදාව තවත් කඳවුරු හදනවා. (ගිවිසුමේ) ආරම්භක අවස්‌ථාව වන මේ වකවානුවේදී (දෙමළ) ජනතාව තුළ කලකිරීමක්‌ ගොඩනැගෙමින් පවතිනවා. මේ ප්‍රදේශවලට නැවත පැමිණීම සඳහා සුදුසු ආරක්‍ෂාවක්‌ අද සපයා ගන්නට නැහැ. ආරක්‍ෂිත කලාප සහ ආරක්‍ෂක කලාප ඉවත් කිරීමක්‌ සිදුවී නැහැ. ඉන්දියානු හමුදා කඳවුරු ඉදිකිරීමට විරෝධය පළකිරීම සඳහා පෙත්සම් භාර දීමට දෙමළ ජනයා කොටි කාර්යාලවලට පැමිණියා. අපි ඔවුන්ට කිව්වා ඒ පෙත්සම් ඉන්දියන් හමුදාවට දෙන්න කියලා.

Frontline - ඉන්දු ලංකා ගිවිසුමේ පිටපතක්‌ ඔබට නොලැබුණ බව ඔබ කියා තිබුණා.

ප්‍රභාකරන් - මගේ පිටපත ඔවුන් රැගෙන ගියා. ඡේ. ආර්. ජයවර්ධන මහතා අද කියා තිබෙනවා ජනමත විචාරණයක්‌ පැවැත්වීමට යන බව. එහෙත් එයට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ.

දිසාපතිවරුන් කියනවා 1983 දී තම වාසස්‌ථානවලින් පලාගිය ජනයාට ආපසු පැමිණීමට පුළුවන් කියලා. එහෙත් 1983 ට පෙරත් (දෙමළ) ජනයා තම වාසස්‌ථානවලින් පලා ගියා. ඉන්දු ලංකා ගිවිසුමේ වැදගත් කරුණු දෙකක්‌ තිබෙනවා. ඉන් එකක්‌ අපගේ මාතෘ භූමිය සමග සම්බන්ධයි. එය තමයි උතුර සහ නැගෙනහිර එකතු කිරීම, දෙවැනි කාරණය අපගේ ඉඩම්වලට සම්බන්ධයි. මේ දෙකට ඉතාම වියවුල් සහගත සංකීර්ණ ප්‍රශ්න. ගිවිසුම මගින් මේ මූලික කරුණුවලට උත්තර ලැබී නැහැ.

Frontline - අගමැති රජිව් ගාන්ධි සහ ඉන්දියානු රජය ගැන ඔබේ අදහස කුමක්‌ද?

ප්‍රභාකරන් - අදහස කියන්නේ?

Frontline - ඔබේ ස්‌ථාවරය.

ප්‍රභාකරන් - ඔවුන් තමන්ගේ දේවල් විතරක්‌ සැලකිල්ලට අරගෙන ඉතා ඉක්‌මනින් ගිවිසුමකට එළැඹී, මෙතෙක්‌ කලක්‌ දෙමළ ජනතාව මුහුණ දුන් දුක්‌ දොම්නස්‌ අමතක කර තිබෙනවා.

Frontline - කොයි විදිහටද?

ප්‍රභාකරන් - මුලතිව් ප්‍රදේශයේ සරණාගතයන් ඉන්නවා. ජනතාව එළියට බැහැලා විරෝධතාව ප්‍රකාශ කරනවා. විරෝධතා පළකරන්න කලින් අවි බිම තියන්න කියා අපට කියනවා. ජනතාවගේ ප්‍රශ්න විසඳී නැහැ. ප්‍රධාන ප්‍රශ්නය, මිනිසුන්ට ඔවුන්ගේ භූමියට යළි එන්නට ඉඩ ලැබිය යුතුයි. ඊට පහසු වීම සඳහා ආණ්‌ඩුවේ හමුදා කඳවුරු ඉවත් කළ යුතුයි. එහෙත් ඒ කඳවුරු ඉවත් කරන්නට ඉන්දීය හමුදාව සූදානම් නැහැ. ඒ අනුව මෙයට විසඳුමකුත් නැහැ. ගිවිසුම ප්‍රකාශයට පත් වන්නට කලින් මේ තත්ත්වය ගැන සාකච්ඡා කළා නම් අපට පුළුවන්කම ලැබෙනවා යම් යම් කොන්දේසි පනවන්නට. අපට කිව හැකිව තිබුණා හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා. ඒත් එවැනි තත්ත්වයක්‌ තිබුණේ නැහැ.

ගිවිසුමට කලින් හමුදා කඳවුරු තිබූ තැන්වලටම ඒවා ආපසු ගෙන යා යුතු බව අප කියද්දී කොඩිකාමම් පළාත තුළ ඉන්දියන් හමුදා කඳවුරු වැඩි වැඩියෙන් ඇති කරන්නේ ඇයි?

Frontline - පසුගියදා සුදුමලේ අම්මන් කෝවිල් භූමියේ පැවැති රැස්‌වීමකදී ඔබ කියා සිටියේ රජිව් ගාන්ධි සමග හෘදයාංගම සාකච්ඡාවක්‌ පැවැත්වූ බවයි. ඒ සාකච්ඡාවේදී ඔහු යම් යම් දේවල් පොරොන්දු වූ බවත් එමගින් ඔබ තුළ සැනසිල්ලක්‌ ඇතිවූ බවත් ඔබ තවදුරටත් කිව්වා. මොනවද ඒ පොරොන්දු?

ප්‍රභාකරන් - උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී දෙමළ ජනයා ආරක්‍ෂා කරන බව රජිව් ගාන්ධි කිව්වා. එහෙත් එම ප්‍රදේශවලට ආපසු යන්නට සරණාගතයන්ට පුළුවන් වී නැහැ. ඉන්දියන් හමුදාව එහි ගියා. එහෙත් දෙමළ ජනයාට එහි යන්නට බැහැ. හේතුව සිංහලයන් සහ ග්‍රාමාරක්‍ෂකයන්ගේ විරෝධයයි. ඒ පළාත්වල ගෙවල් ඇතුළෙත් ආණ්‌ඩුවේ හමුදා කඳවුරු තිබෙනවා. පාසල්වලත් තිබෙනවා. සමුපකාර කඩ ඇතුළෙත් තිබෙනවා. ඒත් ඉන්දියන් හමුදාව ඒ වැනි තැන්වල කඳවුරු හදාගෙන නැති බව කිව යුතුයි.

Frontline - උතුරු නැගෙනහිර අනාගත දේශපාලන කටයුතුවලදී එල්.ටී.ටී.ඊ. ය කටයුතු කරන්නේ කොයි විදියටද?

ප්‍රභාකරන් - ජනයා සහ සංවිධාන සමග අපට සම්බන්ධකම් තිබෙනවා. අප එම සම්බන්ධකම් ශක්‌තිමත් කර ගන්නවා. දැනටමත් ත්‍රිකුණාමලයේ සහ මඩකලපුවේ ජනයා සමග අප වැඩ කරනවා.

Frontline - එල්.ටී.ටී.ඊ. ය නැගෙනහිර පළාත තුළ ශක්‌තිමත්ද?

ප්‍රභාකරන් - නැගෙනහිර පළාතේ සිංහල ප්‍රදේශවලත් අපේ සාමාජිකයන් ක්‍රියාත්මකයි. මුතූර් කියන නගරයේදී එල්.ටී.ටී.ඊ. කොඩිය එසවූ අපේ අයට වෙඩි තබා මරා දැමුවා. ඉන්දියන් හමුදාවට සහ දිසාපතිට වුවමනා වුණා කොඩිය බිමට බාන්නට. මේ තත්ත්වය තුළ මිනිසුන් සිහිබුද්ධියෙන් කටයුතු කරනවා.

Frontline - බහු පාක්‍ෂික තරගකාරී ඡන්ද ක්‍රමයක්‌ සහිත දේශපාලන ක්‍රමයකට ඔබ සූදානම්ද? ඔබ කලින් කියා තිබුණා, ඒක පාක්‍ෂික ක්‍රමයක්‌ ඊළම තුළ තිබිය යුතු බවයි.

ප්‍රභාකරන් - ඔබ අපේ ස්‌ථාවරය ගැන දැනගත යුතුයි. අපට දෙමළ ඊලාම් තත්ත්වය ලැබී නැහැ. දෙමළ ඊලමක්‌ තුළ දේශපාලනය කෙසේ විය යුතුද යන්න පිළිබඳ මගේ අදහස්‌ මෙයට පෙර මා ප්‍රකාශ කර තිබෙනවා. ඒත් අපට වෙනම රටක්‌ නැහැ. ඉන්දු ලංකා ගිවිසුම අප මත බලයෙන් පනවන ලද්දක්‌. මේ ගිවිසුම තුළ හැමෝම එක සමානයි. අප අපගේ දේශපාලන අරමුණ වෙනුවෙන් සටන් කරනවා. ඊලාම් රාජ්‍යය පිහිටුවීමේ අරමුණ අපගේ ජනතාව වෙත තිරසාර පදනමකින් ගෙන යන්නට අප වැඩ කරනවා. මා එදා කී දේවල් කළ යුත්තේ ඊලම පිහිටුවීමෙන් පසුවයි. දැන් සිදුවන්නේ මෙයට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගිවිසුමකට එළැඹී සිටිනවා. අප වෙත පැමිණි ඉන්දියන් හමුදාව අපේ ආයුධ ඉල්ලනවා. අප එය නොකළොත් ඉන්දියන් හමුදාව සමග සටන් කරන්නට අපට සිදුවනවා. එවැනි අර්බුදයක්‌ මගහැරීම සඳහා අප ගිවිසුම පිළිගන්නවා. ඒත් අප අපගේ දේශපාලන අරමුණ අත්හැර දමා නැහැ.